ඇලෝසියස් හා පාලිසේන යළි ත් රක්ෂිත බන්ධනාගාරයට

අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යළි ත් රක්ෂිත බන්ධනාගාරයට

by Hashini De Mel 26-04-2018 | 11:28 AM

COLOMBO (News 1st) - මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ රතු නිවේදනය රටවල් 192ක බලාත්මක බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.

බැඳුම්කර වංචාව පිළිබඳව වත්මන් මහ බැංකුවේ අධිපතිවරයා කළ පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ යළි විභාගයට ගැනිණි. එහිදී දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නඩුවේ දෙවන හා සිව්වන සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රතිලාභී හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළේ ය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අද අධිකරණයට දැනුම් දුන්නේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් මහතා ‍පෙනී සිටින බව ය. සමාගමේ කොටස්කරුවෙකු නොවන ක්‍රියාකාරීව සේවයේ ද නොමැති ඇලෝසියස් මහතා ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ කුමන සබඳතාවක් මත දැයි මහේස්ත්‍රාත්වරිය එහිදී ප්‍රශ්න කළේ ය. ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කොටස් පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් බව ය. පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් හිමි අධ්‍යක්ෂකවරයෙකු ලෙස අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කරන බැවින් ඔහුට ඒ වෙනුවෙන් පෙනී සිටිය හැකි බව කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ ය. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සති 2ක කාලයක් ලබා දුන් මහේස්ත්‍රාත්වරිය විරෝධතා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට ද අවස්ථාව ඇතැයි දැනුම් දුන්නේ ය. දුරකතන ඇමතුම් හා කෙටි පණිවුඩ පිළිබඳව සිදු කරන විමර්ශනයේ ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට වාර්තා කළේ ය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වත්කම් හා අනෙකුත් මූල්‍ය ලියකියවිලි පරීක්ෂණ සඳහා ලබා දෙන්නැයි රජයේ නීතිඥවරිය ඉල්ලා සිටි අතර නීතිමය අවශ්‍යතා පිළිබඳව පැවති ව්‍යාකූල තත්ත්වය නිසා ඒ පිළිබඳව තීරණය කල් දැමිණි. මෙම නඩු වාර්තාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා ය. ඒ, දැනට අධිකරණය මගහැර සිටින ප්‍රධාන සැකකරු අර්ජුන මහේන්ද්‍රන් සොයා ගැනීමට හැකි වුවහොත් කඩිනමින් ඔහු මෙරටට ගෙන්වා ගැනීමේ නීතිමය කටයුතු පහසු කිරීම සඳහා ය. නඩුව මැයි මස 10 වන දා දක්වා කල් තැබුණු අතර සැකකරුවන් දෙදෙනා ඒ දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.