සරත් කුමාර ගුණරත්නට මහාධිකරණයෙන් අධිචෝදනා

සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට මහාධිකරණයෙන් අධිචෝදනා

by Hashini De Mel 25-04-2018 | 3:58 PM

COLOMBO (News 1st) - හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට අද කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාරදී තිබේ.

විත්තිකරුවන්ට විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා රුපියල් 25,000 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළේ ය. නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති පියල් අබේසේකර, ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ, චන්දන පැල්පිට, උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ සහ ලක්මින මුනිදාස යන විත්තිකරුවන් 6 දෙනාට එරෙහිවයි. ඒ, මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කළ රුපියල් මිලියන 11 කට අධික මුදලක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම ඇතුළු අධිචෝදනා හයක් යටතේ ය. 2014 වසරේ දෙසැම්බර් 30 වන දා මීගමුව නගර සභාවේ පැවති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන රැස්වීමක උත්සව කටයුතු සඳහා මෙම මුදල් වැයකර තිබුණි. අධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසි නියෝග අනූව එම විත්තිකරුවන් හය දෙනා අද මහාධිකරණය හමුවේ පෙනී සිටියහ. නඩුව ලබන ජුනි 4 වන දා යළි කැඳවීමට නියමිත වේ.