ශ්‍රීලනිප ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීන්දු රැසක්

ශ්‍රී.ල.නි.ප. ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක්

by Staff writer 25-04-2018 | 7:23 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ රැස්වූ මධ්‍යම කාරක සභාව තීන්දු තීරණ රැසක් ගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනපති නිල නිවසේදී රැස්වුණේ ඊයේ රාත්‍රී 8.00ට පමණ ය. රාත්‍රී 10.30 පමණ වන තෙක් පැවති සාකච්ඡාවේදී ගත් තීන්දු තීරණ පිළිබඳව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අදහස් පළ කළහ. එහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පැවසුවේ, ආණ්ඩුව සාර්ථකව ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා වූ බව ය. මේ අතර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසුවේ, මෙම හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය පිළිබඳව සාකච්ඡා වූ බව ය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය ලබන 7 වන දා මඩකලපුවේදී පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසුවේ ය.