රුපියලේ අගය පහළ යාම: භාණ්ඩ රැසක මිල වැඩි වන ලකුණු

අ.ඩො. සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීම්

by Staff writer 25-04-2018 | 7:00 AM
COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ යාමෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අපනයන භාණ්ඩ රැසක මිල ඉහළ යා හැකි බව ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. ඒ අනුව ගෑස්, කිරිපිටි, පරිප්පු ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළ යා හැකි බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සීල මහතා සඳහන් කළේ ය. ආචාර්ය අමින්ද මෙත්සීල මහතා පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය අනුව භාණ්ඩ ආනයනය කිරීමේදී දෙගුණයක ගාස්තු ගෙවීමට සිදුවන බව ය. මේ හේතුවෙන් මෙරටට ආනයනය කරන භාණ්ඩවල මිලෙහි වැඩි වීමක් ද සිදු විය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. කෙසේ වෙතත් යම් කිසි හේතුවක් මත මෙලෙස ආනයනය කරන භාණ්ඩවල මිලෙහි වැඩි කිරීමක් රජය විසින් සිදු නොකර සිටියහොත් එමගින් රජයට විශාල පාඩුවක් දැරීමට ද සිදුවෙයි. රුපියලේ අගය පහළ යාම මෙරට ණය සඳහා ඇති කරන බලපෑම කෙබදු විය හැකි ද ? මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසුවේ, මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ණය ගෙවීම්වලදී වැඩි මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදුවන බව ය. ඊයේ දිනය වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සටහන් වුණේ, රුපියල් 158.69ක් ලෙස ය.