ලීග් රග්බි තරගාවලියෙන් ශාන්ත තෝමස් විද්‍යාලයට ජය

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය

by Hashini De Mel 25-04-2018 | 3:27 PM

COLOMBO (News 1st) - අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය සමග පැවැති තරගය ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත්වී තිබේ.

තරගය නිත්තවෙලදී පැවැත් විය. ආරම්භයේ සිටම උණුසුම් වූ තරගයේ පළමු අර්ධය නිමාවූයේ ලකුණූ 24 ට 15 ක් ලෙස ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට පෙරමුණ හිමිකර දෙමිනි. ශාන්ත තෝමස් ක්‍රීඩකයින් එම ලකුණු 24 රැස් කළේ උත්සහක දිනුම් 4 ක් හා ප්‍රවර්ථන 2 ක් මගිනි. ප්‍රතිවාදී ශාන්ත අන්තෝනි ක්‍රීඩකයින් උත්සහක දිනුම් 3 ක් මගින් ඔවුන්ගේ ලකුණු 15 රැස් කළේ ය. තරගයේ දෙවන අර්ධයේදී අන්තෝනි ක්‍රීඩකයින්ගෙන් ප්‍රතිවාදී ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල වූවත් එය සාර්ථකව මැඩපවත්වමින් එම අර්ධයේදී උත්සහක දිනුමක් හා ප්‍රවර්ථනයක් මගින් තව ත් ලකුණූ 7 ක් රැස් කිරීමට තෝමස් ක්‍රීඩකයින් සමත් විණි. ශාන්ත අන්තෝනි ක්‍රීඩකයින් උත්සහක දිනුම් 2 ක් හා ප්‍රවර්ථන දෙකක් මගින් එම අර්ධයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 14 කි. ඒ අනුව අවසන් ලකුණු සටහන දැක්වූයේ ලකුණු 31 ට 29 ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට ජය හිමිකර දෙමිනි.