උදංග සහ මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වේද?

රනිල්ගේ සමීපතම තානාපතිවරුන් උදංග වීරතුංග සහ අර්ජුන මහේන්ද්‍රන් යළි ගෙන්වා ගැනීමට සහය වෙයි ද?

by Hashini De Mel 24-04-2018 | 9:51 PM

COLOMBO (News 1st) - බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් මෙරට අධිකරණවල විභාගවන නඩු සඳහා අත්‍යවශ්‍යව ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ හිටපු තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන් යළි ගෙන්වා ගැනීමට තවමත් නොහැකිවී තිබේ.

ඔවුන් දෙදෙනාටම ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති අතර වීරතුංග මහතා මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අත්අඩංගුවට ගෙන රඳවා සිටි. රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීමට ඉල්ලීම් කර ඇතත් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැමැත්ත මත තීරණය වන්නක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ ප්‍රකාශ කළේ ය. පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ ඔහු අත්අඩංගුවට ගත් කරුණට අදාළව එරට තුළ නීතිමය පියවර ගතහොත් ශ්‍රී ලංකාවට ඒ සඳහා බලපෑමක් කළ නොහැකි බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වඩා වෙනස් තත්ත්වයක් සිංගප්පූරුවේ ඇති බැවින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉදිරි දින කිහිපයේ අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාසය පළ කළේ ය. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණයේ සිදුවන නඩු විභාගයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම්කර සිටින උදයංග වීරතුංග මහතා පසුගිය මාර්තු 26 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අත්අඩංගුවට ගනු ලැබිණි. අප කළ විමසීම්වලදී අනාවරණය වූයේ වීරතුංග මහතා පිටුවහල් කරන්නැයි ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට උදර්පනය කිරීම සඳහා වන ඉල්ලීමක් ඉදිරිපත් කරන්නැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දන්වා ඇති බවයි. දෙරට අතර උදර්පන ගිවිසුමකට 2009 වසරේ අත්සන්කර ඇතත් තවමත් එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ අනුමත කර නොතිබීම නිසා මෙම ක්‍රියාවළියට බාධා මතුව ඇත. රජයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, උදර්පන ගිවිසුම නොමැති වුවද එක්සත් ජාතීන්ගේ දූෂණ වැළැක්වීමේ ප්‍රඥප්තිය යටතේ වුව ද උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කළ හැකි බවයි. ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුවන නීතිමය ක්‍රියාවළියේදී පැහැදිලිව කරුණු දැක්වීමට සිදු ව තිබේ. එහිදී එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකළ යුතු වුවත් තානාපති සුලෙයිමාන් ජිෆ්රි මොහිදීන් මහතාගෙන් ඊට ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව පරීක්ෂණ කණ්ඩායම් පවසා ඇත. රුපියල් මිලියන 12 ක පමණ මුදලක් වැය කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට සිදුව ඇත්තේ තානාපති සහය ප්‍රමාණවත්ව නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙසයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව තානාපති ධූරයට පත්කළ සුලෙයිමාන් ජිෆ්රි මොහිදීන් මහතා කලක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකි. සිංගප්පූරු ජාතිකයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇත්තේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ නඩුවට අදාළවයි. ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීම සඳහා දැනටමත් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර උදර්පන ගිවිසුමක් නීතිගතව ඇති අතරම එය නොමැති වුවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් නිසා පහසුවෙන් මෙම ක්‍රියාවළිය සිදුකළ හැකි බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දේ. නමුත් මහේන්ද්‍රන් මහතා සොයා ගැනීම, අත්අඩංගුවට ගැනීම හා යළි ගෙන්වා ගැනීමේ ක්‍රියාවළිය පහසුවෙන් සිදු කර ගැනීම සඳහා සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. මේ වනවිට එහි මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන නීතිඥ නිමල් වීරරත්න මහතා ද කෙටි කලක් එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරක් දැරූ අයෙකි. මහ බැංකුවේ අධිපතිධූරය අහිමිවීමෙන් පසුව පසුගිය 2016 වසරේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රධානියා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා අගමැතිවරයා සමග සිංගප්පූරුවේ කළ සංචාරය සම්බන්ධීකරණය කළේ ද නිමල් වීරරත්න මහතා ය. ඔහු වාර්නස් නමැති නීතිඥ සමාගමේ ප්‍රධාන හවුල්කරුවෙකි. සමාගමේ නිල වෙබ් අඩවියට අනුව මහින්ද හරදාස මහතා එහි තව ත් ප්‍රධාන හවුල්කරුවෙකි. මහින්ද හරදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද කටයුතු කළේ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා සිංගප්පූරුවේ තානාපතිවරුන් ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයින් උදංග වීරතුංග හා අර්ජුන් මහේන්ද්‍රන් යළි ගෙන්වා ගැනීමට සහය වෙයි ද? ඔවුන්ගේ ප්‍රමාණවත් සහයක් නොමැතිව සැකකරුවන් ගෙන්වා ගැනීමට හැකිවෙයි ද? https://www.facebook.com/NewsfirstSL/videos/1923940050999577/