පොලීසියට ගල් ගැසුවාට, ප්‍රා. සභා සභාපති රිමාන්ඩ්

කතරගම පොලීසියට ගල් ගැසුවාට, ප්‍රා. සභා සභාපති රිමාන්ඩ්

by Sagarika Chathumali 24-04-2018 | 10:10 AM
COLOMBO (News 1st) : විරෝධතාවක් අතරතුර කතරගම පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංඟන ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන මස 2 වන දා දක්වා ඊයේ රක්ෂිත බන්ධානාගාරගත කෙරිණ. ඒ, ඊයේ දිනයේ සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි. පසුගිය ජනවාරි මස 21 වන දා කතරගම පොලිස් ස්ථානය ඉදිරිපිට පැවති කළහකාරී විරෝධතාවක් අතරතුර පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මොවුන් ඇතුළු සැකකරුවන් පිරිසකට චෝදනා එල්ල වී තිබිණ. මේ සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති. කතරගම නොසන්සුන් (2018.01.21) ජනවාරි 20 වන දා රාත්‍රියේ පොලිස් වෙඩි තැබීමකින් යතුරුපැදිකරුවෙකු මිය යාමේ සිද්ධියක් වාර්තා විය. එම සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් පිරිසක් කතරගම නගර මධ්‍යයේ ටයර් පුළුස්සමින් පොදු දේපොළවලට හානි කරමින් සහ පොලීසියේ රාජකාරිවලට බාධා කරමින් කතරගම නගරයේ විරෝධතාවයේ නිරත වූහ. අදාළ සිද්ධියෙන් අනතුරුව පිරිසක් කතරගම පොලීසියට ගල් මුල් ප්‍රහාර ද එල්ල කර තිබිණ. පසුව කළහකාරී ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ. මේ අතර පොලීසිය පැවසුවේ, රාත්‍රී 11 පමණ කතරගම නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු වැඩිහිටි කන්ද දෙසට ධාවනය වූ යතුරුපැදියක් නතර කිරීමට සංඥා කර ඇති නමුත යතුරුපැදිකරු අණ නොකතා එය ධාවනය කිරීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වූයේ, කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. සිද්ධියට අදාළ දර්ශන පෙළක්… https://www.youtube.com/watch?v=KiuJdU0oa-4