එජාපයේ තනතුරු වලට පුද්ගලයින් ඡන්දයකින් පත් වෙයි ද?

එජාපයේ තනතුරු වලට පුද්ගලයින් ඡන්දයකින් පත් වෙයි ද?

by Chathuranga Rajapaksha 24-04-2018 | 8:21 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව අද අරලියගහ මන්දිරයේදී රැස්විය.

මෙම කමිටුව සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විතයි. පිටතින් එල්ලවන විරෝධතා නොතකා කමිටුව ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ද අසුන් ගත්තේය. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ, පක්ෂය තුළ යාවජීව නායකත්වයක්, යාවජීව නියෝජ්‍ය නායකත්වයක් හෝ යාවජීව උපනායකත්වයක් තිබිය නොහැකි බව ය. එම තනතුරු ඡන්දයෙන් තෝරා පත් කර ගත යුතු බවට ඔහු යෝජනා කළේය. මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් නියෝජ්‍ය නායක ධුරය සඳහා ඕනෑම අවස්ථාවක තමා ඡන්දයට මුහුණ දීමට සූදානම් බව කියා සිටියේය. එම තනතුරු සඳහා ඡන්දයක් නොපැවැත්විය යුතු බවට ඇතැම් අමාත්‍යවරුන් ප්‍රකාශ කළේය. නායකත්වය සඳහා ඡන්දයක් පැවැත්වීමක් හෝ ඒ සඳහා තරග කිරීමට කිසිවෙකු ඉදිරිපත් වීමක් සිදු නොවන බව අවබෝධ කර ගනිමින් අනියමින් නායකත්වය ආරක්ෂා කිරීම සඳහා අජිත් පී. පෙරේරා අදාළ යෝජනාවට සිදු කළේදැයි පක්ෂ සාමාජිකයින් අතර සැක මතුව තිබේ.