රබර් කර්මාන්ත ශාලාවේ රසායනාගාර පාලකවරිය රිමාන්ඩ්

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ රසායනාගාර පාලකවරිය රිමාන්ඩ්

by Hashini De Mel 22-04-2018 | 6:10 PM

COLOMBO (News 1st) - හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ආයතනයේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු එහි ජ්‍යේෂ්ඨ රසායනාගාර පාලකවරිය ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, ඇය අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. රසායනාගාර පාලකවරියගෙන් පැය තුනක කාලයක් ප්‍රශ්න කිරීම්වලින් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. 42 හැවිරිදි ඇය දික්හේනපුර, හොරණ පදිංචිකාරියකි. කර්මාන්තශාලාවේ හිමිකරු අත්අඩංගුවට ගන්නා ලෙසට කුරුඳුවත්ත පොලීසියට දැනුම්දී ඇති බව හොරණ පොලීසිය ප්‍රකාශ කළේ ය. අනතුර සිදුවන අවස්ථාවේ එහි හිමිකරු කර්මාන්තශාලාවේ සිට ඇති බවත්, ඔහු රෝගාතුරවී රෝහල්ගත ව ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාව පසුගිය 19 වන දා පස්වරුවේ සිදූ වු අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තව ත් 15 දෙනෙකු සිහිසුන්ව හොරණ රෝහලට ඇතුළත් කළහ. පොලීසිය සඳහන් කළේ, කර්මාන්ත ශලාවේ සේවකයෙකු එහි ඇති ඇමොනියා ගබඩා කර තිබු ටැංකියකට ඇද වැටී ඇති බවයි. ඔහු බේරාගැනීමට ගිය සිව්දෙනෙකු ඇමොනියා වායුව අග්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත් ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.