මධ්‍යම අධිවේගයට එකඟ වූ ණය තවදුරටත් පමා වන ලකුණු

මධ්‍යම අධිවේගයට එකඟ වූ ණය තවදුරටත් පමා වන ලකුණු

by Hashini De Mel 22-04-2018 | 8:16 PM

COLOMBO (News 1st) - මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් සඳහා යෝජිත ණය මුදල් මෙතෙක් ලැබී නැතැයි වාර්තා විණි.

මෙම අධිවේගී මාර්ගය ඉදිවන්නේ අදියර තුනක් යටතේයි. කඩවත සිට ගලගෙදර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් ඉදිකිරීමට සැලසුම් සකස්කර තිබිණි. එහි පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක දුර ප්‍රමාණය චීන එක්සිම් බැංකුවේ ණය මුදලකින් ඉදිකරණු ඇත්තේ චීන සමාගමකි. ඒ සඳහා ලබාගැනීමට යන රුපියල් බිලියන 158.4 ණය මුදල චීනයේ එක්සිම් බැංකුව විසින් මෙතෙක් ලබාදී නොමැති අතර මූලික ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ ඉදිකිරීම් සමාගමේ වියදමින් ය. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම සිට පොතුහැර දක්වා ඉදි වෙනු ඇති. දේශීය සමාගම් 16 ක් විසින් කණ්ඩායම් 4කට බොදා මේ වනවිට එහි ඉදිකිරීම් සිදුකරන්නේ, දේශීය බැංකු 4 කින් ලබාගත් ණය මුදලකින් ය. රුපියල් බිලියන 137.098 ක මුදලක් ඒ සඳහා ලබාගැනීමට අපේක්ෂා කරන අතර මේ වනවිට රුපියල් බිලියන 40 කට ආසන්න දේශීය බැංකු 4 මගින් මුදාහැර තිබේ. පොතුහැර සිටි ගලගෙදර දක්වා දිවෙන මධ්‍යම අධිවේගි මාර්ගයේ තුන්වන කොටසේ ඉදිකිරීම් ජපානයේ තයිසේ සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය ලබාදුන්න ද තවමත් ඒ සඳහා ගිවිසුම්ගත ව නැත. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට මෙම කොටසේ ඉදිකිරීම් සඳහා ජපානයේ ටෝකියෝ මිට්ෂුබිෂී බැංකුවෙන් ලබාගැනීමට සැලසුම් කළ රුපියල් බිලියන 153 ක ණය මුදල ද තවදුරටත් ප්‍රමාදවෙමින් තිබේ. ඉහළ පොලියට අමතරව 10.07% ක රක්ෂණ මුදලක්, 1.1% ක සූදානම් කිරීමේ ගාස්තුවක් හා තව ත් 0.25% ක කොමිස් ගාස්තු ද මෙම ණය මුදලට ඇතුළත් ය. එම ණය ලබාගැනීමට අදාළ ගිවිසුම්වලට නීතිපති දෙපාර්තමේන්තුවෙන් තවමත් අනුමැතිය ලැබී නැතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරිවරයෙකු සඳහන් කළේ ය. අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා තයිසේ සමාගම තෝරා ගැනීම ද පසුගිය දිනවල බොහෝ කතා බහට ලක් විය. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් හේතුවෙන් ඉඩම් අහිමිවන බොහෝ පිරසක් පෙන්වා දෙන්නේ සාධාරණ වන්දි ක්‍රමවේදයක් තවමත් ක්‍රියාත්මක නොවන බවයි. මතුව ඇති ගැටලු සහගත තත්ත්වය හමුවේ සැලසුම් කළ කාලසීමාවේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකර අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට නිර්මාණයවී ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/1921481164578799/