සෞදියේ රාජකීය මාළිගාව අසල වෙඩි වරුසාවක්

ඩ්‍රෝන යානාවක් නිසා සෞදියේ රාජකීය මාළිගාව අසල වෙඩි වරුසාවක්

by Chathuranga Rajapaksha 22-04-2018 | 10:49 AM
COLOMBO (News 1st) - සෞදි අරාබියේ රියාද් අගනුවර රාජකීය මාළිගාව අසල වෙඩි තැබීම් රැසක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කුඩා ඩ්‍රෝන යානාවක් රාජකීය මාළිගාව ආසන්න ඉහළ අහසේ පියාසර කිරීමත් සමගින් මෙම වෙඩි තැබීම් ආරම්භ වූ බව ය. එම ඩ්‍රෝන යානාව රාජකීය මාළිගාව ආසන්නයේ, ඇතුළුවීම සීමා කර ඇති කලාපයට පැමිණීමත් සමග මාළිගාවේ ආරක්ෂකයින් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. වෙඩි ප්‍රහාර එල්ල වන අවස්ථාවේ වීඩියෝ දර්ශන කිහිපයක්ද මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. සිදුවීම වාර්තා වීමත් සමග සෞදි පොලීසිය අවට කලාපයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර, මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව පවසා තිබේ. සෞදි පොලිසිය පැවසුවේ ඩ්‍රෝන යානාවේ ක්‍රියාකරු සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය. කෙසේ වෙතත් එම වෙඩි ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ.