උදයංග යළි මෙරටට ගෙන්වා ගැනීමට ඇති බාධාව කුමක් ද?

උදයංග වීරතුංග යළි මෙරටට ගෙන්වා ගැනීමට ඇති බාධාව කුමක් ද?

by Hashini De Mel 22-04-2018 | 8:38 PM

COLOMBO (News 1st) - ඩුබායිහි රඳවා සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීමට තවමත් නොහැකිවී ඇත.

මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන අධිකරණ ක්‍රියාවළියට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කළේ ය. එම වරෙන්තුව අනුව පසුගිය මාර්තු 24 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග මහතා තවදුරටත් එරට රඳවා සිටිනු ඇත. රජයේ උසස් නිලධාරියෙකු පැවසුවේ, ඔහු මෙරටට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ලියකියවිලි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යවා ඇති බවයි. නමුත් වීරතුංග මහතා උදර්පන නීති යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉල්ලමක් කරන්නැයි කළ දැනුම්දීම අනුව ඊට අදාළ ලියකියවිලි මේ වනවිට සකස්කරමින් ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේ ය. මේ අතර අද පුවත්පත් වාර්තාකර තිබුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග ඇති උදර්පන ගිවිසුම මෙරටදී අනුමත කර නොමැතිවීම උදයංග වීරතුංග මහතා යළි ගෙන්වා ගැනීමට බාධාවක් විය හැකි බවයි. 2002 වසරේ අප්‍රේල් 29 වන දා මෙම එකඟතාවට අත්සන් කර ඇතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එය අනුමත කර නැතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබේ. අප කළ විමසීමකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සුලෙයිමන් ජිෆ්රි මොහිදීන් මහතා පැවසුවේ, තානාපති කාර්යාලයට පවා එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ සම්බන්ධයෙන් නිසි තොරතුරු සපයා නොමැති බවයි. රජයෙන් ලැබෙන උපදෙස් අනුව මෙම සිද්ධියට අදාළව කටයුතු කරන බව ඔහු සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1921461157914133/