අත්තනගල්ල වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙකු මරුට

අත්තනගල්ල වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙකු මරුට: ගැබිණි කතක් ඇතුළු 4 දෙනකුට තුවාල

by Hashini De Mel 22-04-2018 | 7:53 PM

COLOMBO (News 1st) - නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකදී ඊයේ රාත්‍රි සිදු වූ වෙඩි තැබීම ව්‍යාපාරික ආරවුලක ප්‍රතිඵලයක් බවට පොලිසීය සැකකර ඇත.

සිද්ධියෙන් මල්වාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මියගිය අතර ප්‍රසංගය නැරඹීමට පැමිණි ගැබිණි කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. නිදහස් පක්ෂයේ තරුණ සංගමය අත්තනගල්ල රජමහා විහාරය සමීපයේ ඊයේ දවස පුරා සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයෙන් අනතුරුව රාත්‍රියේ සංගීත ප්‍රසංගයක් පැවැත් විය. ප්‍රසංගය ආරම්භවීමෙන් පසුව රාත්‍රී 10.30 ට පමණ යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් විහාර භූමිය සමීපයේ නවතා තිබූ ජීප් රථයක් ඉලක්කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළහ. වෙඩි ප්‍රහාරය එල්ල කළ පිරිස පසුව පළාගොස් තිබූ අතර ජීප් රථයේ සිටි පුද්ගලයා සහ තුවාල ලැබූ ප්‍රසංගය නැරඹීමට පැමිණි තව ත් සිව්දෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කළහ. එහිදී ජීප් රථයේ සිටි පුද්ගලයා මියගොස් සිටි අතර ඔහු මල්වාන ප්‍රදේශයේ පදිංචි රුවන් දේවප්‍රිය නමැති දෙදරු පියෙකු බව පසුව හඳුනාගැණිනි. දේවප්‍රිය මහතා පස් සහ වැලි ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටි අයෙකු වන අතර ඊයේ පැවති සංගීත ප්‍රසංගයට ද ඔහු අනුග්‍රහය දක්වා තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ සිව් දෙනා අතර අවුරුදු විසිහතරක ගැබිනි කාන්තාවක් ද සිටියා ය. තුවාල ලැබූ මෙම කාන්තාව සමග තව ත් පුද්ගලයෙකු අද පස්වරුවේ ජාතික රෝහලට මාරු කළ අතර එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ය. අද පස්වරුවේ අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ මූලික පරීක්ෂණ සිදු කළ අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලට යැවීමට නියෝග කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1921450447915204/