හොරණ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින් අවසන් ගමන් යයි

රබර් කර්මාන්ත ශාලාව නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයින් හොරණ හඬවමින් අවසන් ගමන් යයි

by Staff writer 21-04-2018 | 9:42 PM
COLOMBO (News 1st) - හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා වායුව ආඝ්‍රාණය වී මිය ගිය පස් දෙනාගෙන් 4 දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරිණි. පෙරේදා දහවල් රබර් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා අඩංගු ටැංකියක් විවෘත කිරීමේදී විෂ වායු ආඝ්‍රාණය වීමෙන් එක් පුද්ගලයෙකු එම ටැංකියටම වැටී මිය ගිය අතර ඔහු බේරා ගැනීම සඳහා උත්සහ කළ කර්මාන්ත ශාලාවේ ම තවත් සේවකයෙකු සහ ගම්වාසීන් තිදෙනෙක් මිය ගියහ. මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පානදුර මූලික රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව සිරුරු ඥාතීන්ට භාර දුන්නේ ය. අනතුරින් මුලින්ම මිය ගිය හේවාකන්කානම්ගේ ආරියපාල කළුතර උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි එක්දරු පියෙකි. ආරියපාල බේරා ගැනීමට උත්සහ දරා තම දිවියෙන් වන්දි ගෙවූ එම රබර් කර්මාන්ත ශාලාවේ ම සේවය කළ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි වරුණ චන්ද්‍රෙස්කරගේ ද අවසන් කටයුතු අද සිදු කෙරිණි. එක් පුද්ගලයෙකු වෙනුවෙන් දිවි දුන් බැල්ලපිටිය ගම්වාසීන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරිණි. ඒ, 43 හැවිරිදි ප්‍රියන්ත කුමාරගේ සහ 41 හැවිරිදි ලාල් පුෂ්පකුමාරගේ ය. ලාල් පුෂ්පකුමාරගේ දේහය කර්මාන්ත ශාලාව ඉදිරියෙන් සූසාන භුමිය වෙත රැගෙන යන විට ඇති විරෝධතාවක් ද ඇති විය. බැල්ලපිටියේම පදිංචි 34 හැවිරිදි දිලීප් කසුන් ලොකු පතිරණගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිත ය. මේ අතර අනතුරින් සිහිසුන් වූ පුද්ගලයින් 19 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ ඉන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව ය.