ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කල් ඉල්ලයි

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කල් ගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම සලකා බලනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

by Staff writer 21-04-2018 | 9:29 PM
COLOMBO (News 1st) ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම සඳහා 2018 ජූනි මාසය තෙක් කල් ගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම විධායක මණ්ඩලය සලකා බලනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම අරමුදල අවධාරණය කරන්නේ, මෙය බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගනු ලබන ප්‍රධාන පියවරක් බව ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළැඹ තිබේ. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී මැනුඑලා ගොරති මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, ස්වයංක්‍රීය ඉන්ධන මිල නියාමන යාන්ත්‍රණයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමට යටත්ව ජූනි මාසයේදී 4 වන සමාලෝචනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම විධායක මණ්ඩලය සලකා බලනු ඇති බව ය. ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වසරේ මාර්තු මාසය දක්වා කල් ලබා දී තිබිණි. එහෙත් මේ පිළිබඳව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය. මේ වන විට අමාත්‍යවරයා වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සෘතු සාකච්ඡා වටයට සහභාගි වී සිටියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳව නිලධාරී මට්ටමේ එකඟතා ප්‍රකාශයට පත් වූයේ මෙම සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී ය. ඉන්ධන මිල සූත්‍රයට අමතරව රජයේ ව්‍යාපාරවල පාලනය ශක්තිමත් කළ යුතු බවත් එමගින් රාජ්‍ය මූල්‍ය මත ඇති අවදානම අවම කිරීමට පියවර ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. එහි දූත මණ්ඩල ප්‍රධානී මැනුඑලා ගොරති මහත්මිය පවසන්නේ, ණය කළමනාකරණය වැඩි දියුණු කිරීම සහ දේශීය ආදායම් පනත හා අයවැයෙහි සඳහන් ආදායම් උපයා ගැනීමේ අනෙකුත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියක් අත්පත් කර ගත යුතු බව ය. සංචිත ඉහළ නංවා ගැනීම සහ විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ද ඇය අවධාරණය කර තිබේ. කාලගුණ තත්ත්වය නිසා පසුගිය වසරේ පසුබෑමට ලක්වූ කෘෂි කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පෙන්වා දෙන්නේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය 4%ක මට්ටමකට පත්වනු ඇති බව ය. https://www.youtube.com/watch?v=864hDPgMsqo