උ. කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දමයි

උතුරු කොරියාව මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දමයි

by Chathuranga Rajapaksha 21-04-2018 | 6:44 AM
උතුරු කොරියාව මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දැමීමට තිරණය කර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පවසා ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මිසයිල අත්හදා බැලීම් අත්හිටුවීමට සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් පරිශ්‍රයක් වසා දැමීමට පියවර ගන්නා බව ය. අද සිට ක්‍රියාත්මක වන පරිදි න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ අන්තර්මහාද්වීපික බැලැස්ටික් මිසයිල එල්ල කිරීම නතර කරන බව කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය සඳහන් කළේය. කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තාවන්හී දැක්වෙන්නේ මෙම තීරණය කොරියානු අර්ධද්වීපයේ ආර්ථික වර්ධනය සහ සාමය අරුමුණු කරගනිමින් ගනු ලැබූවක් බව ය. මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඉදිරි සතියේදී දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් හමුවීමට ද නියමිත ය. එමෙන්ම ලබන ජුනි මාසයේදී පැවැත්වෙන සමුළුවේදී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පළමු වරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද හමුවීමට නියමිත ය. උතුරු කොරියාවට හා ලෝකයට මෙය ඉතා හොඳ ප්‍රවෘත්තියක් බව ත් එය විශාල ප්‍රගතියක් බව ත් මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතන බව උතුරු කොරියානු නායකයා නිවේදනය කිරීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය.