හොරණ කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය අත්හිටුවයි

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

by Chathuranga Rajapaksha 20-04-2018 | 4:41 PM
COLOMBO (Newsfirst) - ඇමෝනියා වායුව ආග්‍රහණය වී පුද්ගලයින් 5 දෙනෙකු මියගිය හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ. එහි පරිසර දූෂණ පාලන අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් කළේ, කර්මාන්ත ශාලා අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වනතෙක් මෙම තීරණය වලංගු වන බව ය. මේ අතර බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලබන 25 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. ඊයේ දහවල් සිදුවූ එම අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පානදුර මූලික රෝහලේ සිදු කෙරිණි. මේ අතර අනතුරින් සිහිසුන්වූ පුද්ගලයින් 19 දෙනෙකු තව දුරට ත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව හොරණ මූලික රෝහලේ අධිකාරී තමර කළුබෝවිල මහතා සඳහන් කළේය. ඔහු පැවසුවේ ඉන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව ය.