හොරණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

හොරණ කර්මාන්ත ශාලාවේ සිද්ධිය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්

by Staff writer 20-04-2018 | 8:45 AM
COLOMBO (Newsfirst) - හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ ඊයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණක් සිදුකරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව ය. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, දැනට ක්‍රියාත්මක පොලිස් පරීක්ෂණවලින් අනතුරුව කම්කරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව ය. අදාළ කර්මාන්ත ශාලාවේ ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති බවට තහවුරු වුවහොත් එහි කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු සිහිසුන්ව හොරණ රෝහලට ඇතුළත් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඊයේ පස්වරු 1.20ට පමණ කර්මාන්ත ශලාවේ සේවකයෙකු එහි ඇති ඇමෝනියා ගබඩා කර තිබූ ටැංකියකට ඇද වැටී ඇති බව ය. ඔහු බේරා ගැනීමට ගිය සිව් දෙනෙකු ඇමෝනියා වායුව ආග්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය. රෝහල් අධිකාරී තමර කළුබෝවිල මහතා සඳහන් කළේ, අනතුරෙන් සිහිසුන් වූ 15 දෙනා තවදුරටත් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. ඉන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධිකාරීවරයා පැවසුවේ ය. සිහිසුන් වු පිරිස අතරට කාන්තාවන් දෙදෙනෙකු ද අයත්. මේ අතර අදාළ අනතුර සිදුවූ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකාරවරයා ද ඊයේ සවස අත්අඩංගුවට ගත්තේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අපරික්ෂාකාරීව කටයුතු කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බව ය.