යාලේ මිස්සක මිය යාම පිළිබඳව විශේෂ පරීක්ෂණයක්

යාලේ මිස්සක හස්තියා මිය යාම පිළිබඳව විශේෂ පරීක්ෂණයක්

by Staff writer 20-04-2018 | 11:51 AM
COLOMBO (Newsfirst) - යාල වනෝද්‍යානයේ මිස්සක හස්තියා වෙඩි ප්‍රහාරයකින් මිය යාම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අවුරුදු 35ක් පමණ වයසැති මෙම හස්තියාට වෙඩි වැදීමෙන් පසු දින ගණනාවක් අසාධ්‍ය තත්ත්වයේ සිටි බව ය. හස්තියා ඊයේ දිනයේ මිය ගිය අතර මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත ය. අඩි 3ක් පමණ දිග දළ යුගලක් හිමි මිස්සක හස්තියා යාල වනෝද්‍යානයේ ඇතුන් අතර සංචාරකයින්ගේ නොමද ආකර්ශනයට ලක්වූ හස්තියෙකි. මේ අතර වනජීවී පශූ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සඳහන් කළේ, පසුගිය 15 වන දා මෙම හස්තියා යාල වනෝද්‍යානයේ වැටී සිටින බවට ලද තොරතුරක් මත කළ නිරීක්ෂණයේදී හස්තියාගේ වම් පාදයට ඉහළින් වර්ග අඩියක පමණ විශාල තුවාලයක් දක්නට ලැබුණු බව ය. ඒ සඳහා දින 4ක් පුරා පශු වෛද්‍යවරුන් කණ්ඩායම් ප්‍රතිකාර කළ ද මිස්සක හස්තියාගේ දිවි බේරා ගැනීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කළේ ය. හස්තියාට වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක ය.