නාවික හමුදාවේ අධි තාක්ෂණික නෞකාව අධිකාරිත්වයට

නාවික හමුදාවේ දෙවන අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අධිකාරිත්වයට පත් කෙරේ

by Staff writer 20-04-2018 | 11:29 AM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අධිකාරිත්වයට පත් කෙරිණි. මෙම නෞකාව ඉන්දියාවේ ගෝවා නැව් තටාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දෙවන අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව යි. මෙය ඊයේ අධිකාරියට පත් කළේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී ය. 'සිඳුරළ' නමින් අධිකාරියට පත් කරන ලද මෙම අධි තාක්ෂණික නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම සිදු කළේ, සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ ය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස නෞකාවේ නවීන පහසුකම් සහ උපකරණ පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. 'සිඳුරළ' නෞකාවේ දිග මීටර් 105.7ක් වන අතර පළල මීටර් 13.6ක් අතර සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයක් ද මෙය සතු ය. නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයින් 100 දෙනෙකුගෙන් මෙහි නැව් මුළුව සමන්විත වේ.