තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි

තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණයි - ජනපති පොදුරද මඩුලු විධායක සභාව අමතමින් කියයි

by Staff writer 20-04-2018 | 7:28 AM
COLOMBO (Newsfirst) - අන් රටවල් මෙන් ම තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ ද අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට එක්වෙමිනි. ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස්හි එය රැස්විණි. විධායක සභාවට සහභාගී වූ ජනාධිපතිවරයා පිළිගත්තේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය විසිනි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, දූපත් රාජ්‍යයක් ලෙස මතු පරපුරේ ප්‍රයෝජනය උදෙසා භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සම්බන්ධයෙන් තිරසර අනාගතයක් සාක්ෂාත් කර ගැනීමට විශේෂ උනන්දුවක් දක්වන බව ය. මේ අතර ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමා දෙවැනි එළිසබෙත් මහ රැජිණ විසින් රාජ්‍ය නායකයින් වෙනුවෙන් පවත්වනු ලැබූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.