රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් කොළඹට

කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවේ ඔබ නොදත් තොරතුරු

by Chathuranga Rajapaksha 20-04-2018 | 9:57 PM
COLOMBO (Newsfirst) -  රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් කොළඹ වරයාට පැමිණ තිබේ. 1977 නිෂ්පාදිත මෙම නෞකාව පිළිබඳ සොයා බැලීමට නිව්ස්ෆස්ට් අප එහි සංචාරයක නිරත වූහ. රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරිකොප් නෞකාව සුහද සංචාරයක් සඳහා පසුගිය 18 වැනිදා කොළඹ වරායට සේන්දු වුණේ දින පහක නිල සංචාරයක් සඳහායි. රුසියානු නාවික හමුදාවේ බෝල්ටික් මුහුදු බල ඇණියට අයත් මේ නැව පෝලන්තයේ ස්ටෙටින් නාවික අංගනයේදී නිෂ්පාදනය කරන ලද්දකි. රුසියානු නාවික සෙබළුන් මුහුදේදී පුහුණු කිරීම සදහා යොදා ගන්නා මෙම නෞකාවේ දිග මීටර් 138 ක් වන අතර පළල මීටර් 17 කි. මෙට්‍රික් ටොන් 6,900 ක් බරැති මෙම නෞකාවේ පුද්ගලයින් 403 දෙනෙකුට ගමන් කළ හැකි ය. නවීන රේඩාර් තාක්ෂණයක්, නාවික මග පෙන්වීමේ උපකරණ, ස්වයං ආරක්ෂක උපකරණ සහ ගැඹුරු මුහද නීරීක්ෂණය කිරීමේ හැකියාවද මේ නැව සතුයි. මෙම විශාල නෞකාවට බලය ලබා දෙන්නේ අශ්වබල 16000 ක ඩීසල් එන්ජින් දෙකකිනි. පෙරිකොප් නෞකාවෙහි මිලිමීටර් 76 වර්ගයේ අවි 4 ක් , මිලිමීටර් 30 ගුවන් යානා නාශක අවි 2 ක් හා සබ්මැරීන විනාශ කළ හැකි ආදර්ශ අවි පද්ධතියක්ද නිර්මාණය කර තිබේ. පෙරිකොප් නෞකාවේ අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් ව්ලැද්මීර් ඒ චෙරකොෆ් මහතා "මෙය විශේෂ පුහුණුවීම් සදහාම නිෂ්පාදනය කරන ලද නෞකාවක්. අභ්‍යාසවල නිරතවන දෙවැනි හා 4 වැනි වසරේ කැඩෙට් නිලධාරීන් 220 දෙනෙකු මේ නෞකාවේ දැන් සිටිනවා. ඔවුන් නාවික මග පෙන්වීම් අභ්‍යාස යටතේ පුහුණුව ලබනවා. අපි ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන්නේ සහෝදරත්වය පෙරටුකරගන. ශ්‍රී ලංකාව අපගේ පළමු නැවතුම්පළ ලෙස තොරා ගත්තේ මෙහි තිබෙන පරිසරය සංස්කෘතිය සහ මෙහි අපගේ සෙබලුන්ට හොද අභ්‍යාසයක් ලබා දෙන්න පුළුවන් නිසායි" කැඩෙට් නිලධාරීන් 220 දෙනාට අමතරව උපදේශකවරුන් 20 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 120 දෙනෙකු ද නැවේ සිටින බව චෙරකොෆ් මහතා සඳහන් කළේය.‍ මෙම නෞකාව ලබන ඉරිදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පිටත්ව යාමට නියමිත ය. https://www.facebook.com/NewsfirstSL/videos/1919235704803345/