25 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ඇරඹේ

25 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ලන්ඩන් නුවරදී ඇරඹෙයි

by Hashini De Mel 19-04-2018 | 7:38 PM

COLOMBO (News 1st) - 25 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අද ලන්ඩන් නුවරදී ආරම්භ විය.

ඒ, බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ ප්‍රධානත්වයෙනි. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයින් ද එක්විය. සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සාමාජික රටවල් 53 ක රාජ්‍ය නායකයෝ එක්ව සිටිති. මෙවර සමුළුව විවිධ රටවල සංස්කෘතීන්ට අදාළ සංගීතයන්ගෙන් සමන්විත වීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍යට යටත්ව සිට නිදහස ලැබු රටවල් 53 ක් මෙම සමුළුවට එක් ව සිටිනු ඇති. සෑම දෙවසරකට වරක් පැවැත්වෙන මෙම පොදුරාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව ප්‍රථම වරට පැවැත්වුණේ 1971 වර්ෂයේ මොල්ටා රාජ්‍යයේදී ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල ඇති පොදු ගැටලු පිළිබඳව සාකච්ජා කිරීමේ අරමුණෙන් මෙම සමුළුව පැවැත්වෙනු ඇත. 2013 වසර මෙම සමුළුවේ සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පැවැත්වූයේ 2015 වසරේ මොල්ටා රාජ්‍යයේදී ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සභාපති ධූරය මොල්ටා අග්‍රාමාත්‍ය ජෝසෆ් මුස්කත් මහතා විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය වෙත අද පිරිණමන ලදී. ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සභාපති ධූරය 2020 වසර දක්වා තෙරේසා මේ මහත්මිය විසින් හොබවනු ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/1918032301590352/