එල්ලංගා පද්ධතිය ලෝක කෘෂිකාර්මික උරුමයක් කෙරේ

මෙරට ඓතිහාසික එල්ලංගා පද්ධතිය අද සිට ලෝක කෘෂිකාර්මික උරුමයක් වෙයි

by Sagarika Chathumali 19-04-2018 | 1:01 PM
COLOMBO (News 1st) :  ශ්‍රී ලංකාව සතු එල්ලංගා ගම්මාන ක්‍රමවේදය ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස නිල වශයෙන් නම් කිරීමේ ජාත්‍යන්තර උත්සවය අද ඉතාලියේ, රෝමයේදී පැවැත්වීමට නියමිතයි. මෙහිදී ඇගයීමට ලක්වන සියලු රටවල නියෝජිතයින්ට තම රටේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ද අවස්ථාව සැලසෙනු ඇති. මේ අනුව ලොවපුර රටවල් 20 ක මෙවැනි පාරම්පරික කෘෂිකාර්මික පද්ධති 50 හඳුනාගෙන ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍ර කරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය , එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මඟින් හඳුනාගනු ලැබුවේ ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙසයි. ඒ අනුව එල්ලංගා ගම්මාන ක්‍රමවේදය , ලොව අලුතින් හඳුනාගත් ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුමයන් 14 ට අයත් වේ. අද ඉතාලියේ රෝම නගරයේදී පැවැත්වෙන නිල උත්සවයේදී ශ්‍රී ලංකාව මෙන්ම එහිදී පිළිගැනීමට ලක්වූ සෙසු නව කෘෂිකාර්මික උරුම ස්ථාන අයත් රටවල් වන චීනය , ඊජිප්තුව , කොරියානු ජනරජය  ,මෙක්සිකෝව , පෘතුගාලය , ස්පාඤ්ඤය සහ ජපානයද ඇගයීමට ලක්වනු ඇති. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ ලොව වටිනා කෘෂිකාර්මික උරුමයන් ආරක්ෂා කිරීම , ජෛව විවිධත්වය සහ සංස්කෘතිය සුරැකීම මෙන්ම ප්‍රතිරෝධී පරිසර පද්ධති නිර්මාණය කිරීමයි. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය විසින් මෙරට වියළි කලාපයේ හඳුනාගත් එල්ලංගා ගම්මාන පද්ධතිය වැදගත් උරුමයක් ලෙස මුල්වරට සඳහන් කරනු ලැබුවේ, 2017 වසරේදීයි .