මීතොටමුල්ල කසළ කන්ද- හානි වූවන්ගේ දීමනා දිර්ඝ කෙරේ

මීතොටමුල්ල කසළ කන්දෙන් හානි වූවන්ට ලබාදෙන දීමනා දිර්ඝ කෙරේ

by Hashini De Mel 19-04-2018 | 6:10 PM

COLOMBO (News 1st) - මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් පසු වෙනත් නිවාසවල රැඳී සිටින පවුල් සඳහා ලබාදෙන මාසික දීමනාව ලබන මස දක්වා දිර්ඝ කරන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.

අමාත්‍යවරයා සඳහන් කළේ, කසළ කන්ද නායයාමෙන් ඉඩම් අහිමිවූවන් ඉදිරිපත් කර ඇති අභියාචනා සලකා බලා කඩනමින් ඔවුන් වෙත වන්දි ලබාදීමට කටයුතු කරන බවයි. මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද පෙරවරුවේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, කසළ කන්ද නායයාමෙන් වාහන 40 කට පමණ අලාභහානි සිදුව ඇති බවයි. එහෙත් ඇතැම් වාහනවල ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකිවීම හේතුවෙන් ඒවායේ අයිතිකරුවන් බලවත් දුෂ්කරතාවට පත් ව ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කමිටුවක් මගින් අදාළ තොරතුරු කඩිනමින් ලබාගෙන අලාභහානි වූ වාහන සඳහා ඉක්මනින් වන්දි ලබාදීමට පියවර ගන්නා බව ද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.