කුඩා රාජ්‍යන්ගේ වෙළෙඳපොළ පුළුල් කිරීමට නව අරමුදලක්

පොදුරාජ්‍ය මණ්ඩලයේ කුඩා රාජ්‍යන්ගේ වෙළෙඳපොළ පුළුල් කිරීමට නව අරමුදලක්

by Staff writer 18-04-2018 | 12:28 PM
COLOMBO (Newsfirst) - පොදුරාජ්‍ය මණ්ඩලයීය කුඩා රාජ්‍යයන්ගේ වෙළෙඳ මූල්‍ය පහසුකම් පිළිබඳව අරමුදලක් ඇති කර ගැනීමට මේ දිනවල පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සමගාමීව පැවති සාකච්ඡාවලදී එකඟතාව ඇති කර ගෙන තිබේ. 2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවේදී ඉදිරිපත් වූ යෝජනාවකට අනුව කලාපීය කුඩා රාජ්‍යන්හි ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ අරමුණින් නව අරමුදල ආරම්භ කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, මෝල්ටා සහ මුරුෂි යන රටවල් ආරම්භක ප්‍රාග්ධනය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් යෙදවීම සඳහා ඊයේ ලන්ඩන් නුවරදී ගිවිසුම්ගත විණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ සඳහා අත්සන් කළ අතර ශ්‍රී ලංකාව අදාළ අරමුදලට අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලක් ලබා දීමට නියමිත ය. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවය ලෝකයට ආදර්ශයක් බව මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ පැවති මූලික සැසියකදී ප්‍රකාශ කළේ ය. බිල් ගේට්ස් මහතා සහභාගී වූ මෙම සැසියට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වූහ.