කීත් නොයාර් පැහැරගැනීම:අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

කීත් නොයාර් පැහැර ගැනීම: අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

by Sagarika Chathumali 18-04-2018 | 4:55 PM
COLOMBO (News 1st) : මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමට උපදෙස් දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී අමල් කරුණාසේකර මහතා ලබන 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරු අද ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. යුද හමුදා රෝහලේ සිට ගිලන් රථයකින් පැමිණ සැකකරු රෝද පුටුවකින් පැමිණ අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය. රජයේ නීතිඥ ලක්මිනි ගිරාගම මෙනවිය කරුණු දක්වමින් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සැකකරුවන් 7 දෙනා අතරින් ප්‍රධාන සැකකරු ලෙස මොහු හඳුනා ගෙන ඇති බවයි. මේ හේතුවෙන් ඔහු ඇප මත මුදා හැරිමට විරුද්ධ බව රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළා ය.