අමෙරිකානු GSP සහනය යළිත් මෙරටට

අමෙරිකානු GSP සහනය යළිත් මෙරටට

by Staff writer 18-04-2018 | 11:37 AM
COLOMBO (Newsfirst) - අමෙරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වන දා සිට යළි ශ්‍රී ලංකාවට ලබා දීමට අමෙරිකාව තීරණය කර තිබේ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 120ක් සඳහා ජී.එස්.පී. බදු සහනය ලබා දීමට තීරණය කර ඇති බව ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් 120ක නිෂ්පාදන 5000ක ප්‍රමාණයකට අපනයනයේදී මෙම බදු සහනය හිමි වේ. මේ හරහා ලොව විශාලත ම වෙළෙඳ හවුල්කරුවා සමග පවතින සබඳතාව තවත් ශක්තිමත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය. පසුගිය වසරේ මෙරට ප්‍රධාන අපනයන ගැණුම්කරුවා බවට පත්ව ඇත්තේ අමෙරිකාවයි. ඒ අනුව පසුගිය වසරේ අමෙරිකාවට සිදු කළ සමස්ත අපනයන ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2.9 සිට 3.0 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙරට ප්‍රධාන අපනයනය වන ඇඟලුම්වලින් 70% ත් 75% ත් අතර ප්‍රමාණයක් අපනයනය කරන්නේ ද අමෙරිකාවට ය.