පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේදී අප කළ විස්කම්

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා

by Nadeeshan Meedin 17-04-2018 | 4:59 PM
COLOMBO (Newsfirst) -  පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ මෙවර කණ්ඩායම ඉතිහාසයේ ඉහළම පදක්කම් සංඛ්‍යාව ලබා ගැනීමට සමත් වීමත් සමග ක්‍රීඩා ක්ෂේත්‍රය කෙරෙහි වැඩි දෙනෙකුගේ අවධානය නැවත යොමුව තිබේ. බර ඉසිලීමෙන් හා බොක්සිං ක්‍රීඩාවෙන් මෙවර පදක්කම් 6 ක් ශ්‍රී ලංකාවට හිමිවද්දී, සෙසු බොහෝ ක්‍රීඩාවල උපරිම දක්ෂතාව දැක්වීමට නොහැකිවීම ද කැපී පෙනිණි. පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් වන තරගාවලියක් වුව ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමි වූ තරගාවලියකි. බර ඉසිලීම හා බොක්සිං ඉසව් වලදී පදක්කම් හිමි වෙද්දී මලල ක්‍රීඩා, පිහිණුම්, බැඩ්මින්ටන් හා ස්කොෂ් ක්‍රීඩා වලදී සැළකිය යුතු දක්ෂතා දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. 1950 වසරේ දී ශ්‍රී ලංකාව පදක්කම් 4 ක් දිනා ගැනීමෙන් පසුව වැඩිම පදක්කම් සංඛ්‍යාවක් හිමිකර ගත්තේ මෙවර තරගාවලියේදී ය. 1950 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනාගෙන සමස්ථ පදක්කම් 4 ක් දවා ගත්තේය. මෙරට පළමු ඔලිම්පික් පදක්කම් ලාභියා වූ ඩන්කන් වයිට් මීටර් 400 කඩුලු මතින් දිවීමෙන් (එවකට හැඳින් වූයේ යාර 440 ලෙසවේ) එම ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනාගත් අතර, එක් එඩ්වින් බොක්සිං ෆලයි වේට් බර පංතියෙන් ද, ඇල්බට් පෙරේරා බැන්ටම් වේට් බර පංතියෙන් ද රිදී පදක්කම් හිමිකර ගත්තේය. ඇලෙක්ස් ඔබේසේකර ෆෙදර්වේට් බර පංතියෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තේය. ඉන් වසර 68 ක් ඉක්ම ගිය කළ මෙවර පදක්කම් 6 වැඩිම පදක්කම් සංඛ්‍යාව වේ.

බර ඉසිලීම

බර ඉසිලීම ක්‍රීඩාවෙන් මෙවර පළමු පදක්කම හිමිකර දීමට ලක්මාල් චතුරංග සමත් විය. යුද හමුදා කමාන්ඩෝ බලකායේ සෙබළෙකුව සිටිමින් ක්‍රීඩාව ආරම්භ කළ ඔහු කිලෝග්‍රෑම් 56 බර පංතියෙන් සමස්ථ බර කිලෝග්‍රෑම් 298 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. ලක්මාල්ට රිදී පදක්කම අහිමි වූයේ කිලෝග්‍රෑම් එකකිනි. ඉන්දික දිසානායක ශ්‍රී ලංකාව හිමිකරගත් එකම රිදී පදක්කමේ හිමිකරුවිය. ඔහු කිලෝග්‍රෑම් 69 බර පංතියෙන් එම දක්ෂතාව දැක්වූයේ, කිලෝග්‍රෑම් 297 ක බරක් ඔසවමිනි. ඉන්දිකට රන් පදක්කම දිනා ගැනීමේ අවස්ථාව එහිදී අහිමි වූයේ කිලෝග්‍රෑම් දෙකකින් වීම විශේෂත්වයක් විය. වේල්සයේ ගැරත් එවන්ස් කිලෝග්‍රෑම් 299 ක් ඔසවමින් රන් පදක්කම හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකාවට බර ඉසිලීමෙන් හිමිවූ අනෙක් පදක්කම හිමිකර ගත්තේ, හංසිනී ගෝමස් ක්‍රීඩිකාව විසිනි. කිලෝග්‍රෑම් 48 බර පංතියෙන් ඇය කිලෝග්‍රෑම් 155 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවා ය. මීට අමතරව බර ඉසිලීමෙන් උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම විය.
තිලංක විරාජ් පදක්කමක් අසලටම පැමිණ අවාසනාවන්ත ලෙස එම අවස්ථාව අහිමි කර ගත්තේ සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත් වෙමිනි. ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට පළමු එසවුම වූ කිලෝග්‍රෑම් 155 ක බර ප්‍රමාණය සාර්ථක කරගත් තිලංකට කිලෝග්‍රෑම් 160 ක් වූ දෙවැනි හා තෙවැනි එසවුම් සාර්ථක කර ගැනීමට නොහැකිවීම පදක්කමක් හිමි කරගැනීමේ අවස්ථාව අහිමි කළේය. ලෝකඩ පදක්කම හිමි කරගත් පකිස්ථානයේ තලාහ් තාලිබ් කිලෝග්‍රෑම් 283 සමස්ථ බරක් ඔසවද්දී තිලංකට හැකි වූයේ කිලෝග්‍රෑම් 279 ක සමස්ත බරක් එසවීමටයි. මින් ඉහත 2006 හා 2010 පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කම් ලාභී චින්තන ගීතාල්ට ද පදක්කම අහිමි වූයේ ඔහුගේ අවසන් එසවුම් දෙකම අසාර්ථක වීම හේතුවෙනි. කිලෝග්‍රෑම් 7 කින් චින්තනට ලෝකඩ පදක්කම අහිමිවීම හේතුවෙන් පස්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

බොක්සිං

අනූෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම බොක්සිං ක්‍රීඩාවෙන් තහවුරු කිරීමට සමත් වූවාය. කිලෝග්‍රෑම් 48 ට අඩු බර පංතියෙන් ක්‍රීඩා කරමින් ඇය එම දක්ෂතාව දැක්වූවාය. එය ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ක ලබා ගත් පළමු පදක්කම ලෙස ද වාර්තා අතරට එක්විය. එසේම වසර 68 කට පසුව බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව සතු කරගත් පළමු බොක්සිං පදක්කම ද වේ. මින් ඉහත මංජු වන්නි ආරච්චි විසින් පදක්කමක් හිමිකර ගත්ත ද පසුව එය ඔහුට අහිමි විය‍ අනූෂා කොඩිතුවක්කු අවසන් පූර්ව වටයේ දී තරග වැදුණේ ලෝක ශූරියක මෙන් ම ඔලිම්පික් පදක්කම් ලාභිනියක ද වන ඉන්දියාවේ මේරිකොම් සමගිනි. නමුත්, අත්දැකීම් බහුල ඉන්දීය ක්‍රීඩිකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ද අනූෂාට එම තරගය පරාජය වීමට සිදුවිය.
තිවංක රණසිංහ, කිලෝග්‍රෑම් 49 ට අඩු බර පංතියෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකා පදක්කම් සටහන පහ දක්වා ඉහළ දැමීමට සමත් විය. ඔහුට ද අවසන් පූර්ව වටයේදී ක්‍රීඩා කිරීමට සිදුවූයේ වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු වූ එංගලන්තයේ ගලා යෆායි සමගිනි. නමුත් තිවංකට එම අභියෝගය ජය ගැනීමට නොහැකි විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් පදක්කම ලබා දුන්නේ කිලෝග්‍රෑම් 52 ට අඩු බර පංතියෙන් තරග කල ඉෂාන් බණ්ඩාරයි. ලෝකඩ පදක්කමක් දිනාගත් ඔහු අවසන් පූර්ව වටයේදී ක්‍රීඩා කළ තරගය කාගේත් අවධානයට යොමුවිය. පළමු වටයේදී ම ඉන්දියානු ක්‍රීඩකයා තුන්වරක් ඇද වැට්ටවූ ඉෂාන්ට ජයග්‍රහණය අවහිර වූයේ තාක්ෂණය හා අත්දැකීම් මදිකම හේතුවෙන් විය යුතුය. කරට කර තරගයකින් පසුව ඉෂාන් ලෝකඩ පදක්කමින් සෑහීමට පත්වුව ද ඔහුගේ තරගය ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකුට අමතක නොවනු නොඅනුමානය.

පිහිණුම්

පිහිණුම් ඉසව්වල දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් අතරට යාමට නොහැකි වුව ද, ඔවුනට උපරිම දක්ෂතා අතරට යෑමට හැකි වීම විශේෂත්වයක් විය. විශේෂයෙන් ක්‍රීඩකයන් විසින් වැඩි දක්ෂතා පිළිබිඹු කළේ, මැතිව් අබේසිංහගේ උපරිම දක්ෂතා දැක්වීමත් සමගිනි. ශ්‍රී ලංකා සහාය පිහිණුම් කණ්ඩායමක් ඉතිහාසයේ පළමු වරට නිදහස් ආර අවසන් තරගයට සුදුසුකම් ලැබීම මෙහි විශේෂත්වයක් විය. නමුත් අවසන් තරගයේ දී, තාක්ෂණික වරදක් සිදුකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයෙන් ඉවත් වීමට සිදුවිය. මැතිව් අබේසිංහ මෙවර තරගාවලියේ පිහිණුම් ඉසව්වලින් උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් සඳහන් කළ හැක. මීටර් 100 නිදහස් ආර ඉසව්ව සිව්වරක් තත්පර 50 සීමාවට අඩුවෙන් මැතිව්ට තරණය කිරීමට හැකි විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දක්ෂතාව දක්වා ඇති එකම ක්‍රීඩකයා ඔහුවේ. එසේම නිදහස් ආර කේවල ඉසව්වෙන් තත්පර 49.11 ක දක්ෂතාවක් මූලික වටයේදී දක්වා ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට මැතිව් සමත් විය. ඉන් නොනැවතී, මීටර් 50 නිදහස් ආර ඉසව්වෙන් ද තමා සතු ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට ඔහු සමත් විය. තත්පර 22.65 ක දක්ෂතාවක් දැක්වූ ඔහු නැවත අවසන් පූර්ව යටයේ දී ද තත්පර 22.84 ක දක්ෂතාවක් දැක්විය.

බැඩ්මින්ටන්

බැඩ්මින්ටන් තරග සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ දක්ෂතා දැක්වීමට බුවනක ගුණතිලක, සචින් ඩයස් හා දිනුක කරුණාරත්න සමත් විය. සචින් හා බුවනෙක පිරිමි යුගල ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තරම් දක්ෂ විය. නමුත්, අත්දැකීම් බහුල ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනා හමුවේ ඔවුන්ට පසු බැසීමට සිදුවිය. එසේම තුන්වැනි ස්ථානයට හිමි ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයේදී මලයාසියානු ක්‍රීඩකයන් හමුවේ පරාජය වීම හේතුවෙන් සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් අත්දැකීම් බහුල ප්‍රවීණයන් පිරිමක් සහභාගීවන තරගාවලියක සිව්වැනි ස්ථානයට පත්වීමම මෙම ක්‍රීඩකයන් දෙදෙනා පුද්ගලිකව ලබා ගත් විශාල ජයග්‍රහණයක් වේ. ඊට අමතරව තිලිණි හෙන්දහේවා / කවින්දි සිරිමාන්න යුගලය හා හසිනි නුසාකා / මදුෂිකා දිල්රුක්ෂී යුගලය කාන්තා යුගල ඉසව්වෙන්   අර්ධ අවසන් පූර්ව වටය දක්වා පිවිසීමට සමත්විය.

මලල ක්‍රීඩා

මලල ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලංකාව අතීතයේ දක්වා ඇති දක්ෂතාවලට සාපේක්ෂව විශාල දක්ෂතා දැකගත නොහැකි විය. කෙසේ වෙතත්, මීටර් 100 පිරිමි සහාය දිවීමේ කණ්ඩායම එහි දී දැක්වූ දක්ෂතා අනාගතයට හොඳ ආයෝජනයක් ලෙස දැක්විය හැක. වාසනාවන්ත ලෙස තත්පර 39.47 ක දක්ෂතාවක් දක්වමින් තුන්වැනි ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලබ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේ දී විශිෂ්ඨ තරගයක් ලබා දීම කැපී පෙනිණි. අවසන් තරගයේ ප්‍රභල කණ්ඩායම් වලට අභියෝගයක් වෙමින් හයවැනි ස්ථානයට පත්වුව ද ශ්‍රී ලංකා වාර්තාව තත්පර භාගයකින් අලුත් කිරීමට ඔවුනට හැකි විය. 2015 වසරේ දී විනෝජ් සුරංජය, හිමාෂ ඒෂාන්, මොහොමඩ් අෆ්රෆ් හා ශෙහාන් අඹේපිටිය එක්ව පිහිටු වූ තත්පර 39.38 ක වාර්තාව ඔවුන් සිව් දෙනා විසින්ම මෙවර අලුත් කළේ තත්පර 39.08 ක් ලෙස ය. ඊට අමතරව හෙල්ල විසි කිරීමේ ජාතික ශූරිය වන නදීෂා දිල්හානී මීටර් 56.02 ක දක්ෂතාවක් සමගින් සමස්ත තරගයේ 5 වැනි ස්ථානයට පත් වද්දී, දුර පැනීමේ ක්‍රීඩක ජනක ප්‍රසාද් විමලසිරි අවසන් තරගයට තේරී පත්වෙමින් මීටර් 7.89 ක දක්ෂතාවක් සමගින් 7 වැන්නා ලෙස තරගය අවසන් කළේය.

ස්කොෂ්

ස්කොෂ් කාන්තා කේවල ඉසව්වෙන් මිහිලියා මෙත්සරණී පළඟ ශූරතාව වෙනුවෙන් තරග වදිමින් අනුශූරිය බවට පත්විය.