නික් පෝතාස් ඉල්ලා අස්වෙයි

නික් පෝතාස් ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීමේ තනතුර අත්හරී

by Chathuranga Rajapaksha 17-04-2018 | 3:56 PM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් එම තනතුරෙන් ඉවත්ව වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 2016 වසරේ අගෝස්තු මස 8 වැනිදා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නික් පෝතාස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතවිය. ඉන් අනතුරුව පොතාස් 2017 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු තණතුරට පත් විය. ඒ, ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැම් ෆෝඩ්ගේ ඉල්ලා අස්වීම හේතුවෙනි. කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්වීමත් සමග පෝතාස්ට යළි ත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ වගකීම පැවැරුණු අතර, ඔහුගේ සේවා කාලය මෙම වසරේ අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණි. මේ වසරේ පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කිරීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනය සමග පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පෝතාස් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයේ දැක්වේ.