සංගක්කාර ක්‍රිකට් පිටියෙන් විස්තර විචාරක කුටියට

කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියෙන් යළි ත් විස්තර විචාරක කුටියට

by Chathuranga Rajapaksha 17-04-2018 | 4:46 PM

COLOMBO (Newsfirst) - හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ඉදිරි මාස කිහිපය තුළ එංගලන්තය සත්කාරකත්වය දරන තරගාවලි සඳහා විස්තර විචාරකයෙකු ලෙස සහභාගී කරවා ගැනීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එංගලන්තයේ ක්‍රිකට් වසන්තය ලෙස සැළකෙන එළඹෙන ජුනි හා අගෝස්තු මාස වලදී එංගලන්තයේ සත්කාරකත්වයෙන් පවත්වන ක්‍රිකට් තරගාවලි සඳහා කුමාර් සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස සහභාගී වීමට නියමිත ය. එළඹෙන ජුනි මස හා අගොස්තු මසදී පකිස්ථානය හා ඉන්දියාව පූර්ණ තරගාවලි සඳහා ත්, ඕස්ට්‍රේලියාව සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලි සඳහා ත් එංගලන්තයේ සංචාරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ. එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසන්නේ එම සියලු තරගාවලි සඳහා කුමාර් සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස සහභාගී වන බව ය. කුමාර් සංගක්කාර එංගලන්තයේ පැවති 2017 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද විස්තර විචාරකයෙකු ලෙස කටයතු කළේය. විදෙස් මාධ්‍ය පවසන්නේ ඒ වනවිට කුමාර් සංගක්කාර එංගලන්තයේ සරේ ප්‍රාන්තය මෙන්ම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ද නියෝජනය කළ නිසා ඔහුට විස්තර විචාරකයෙකු ලෙස පූර්ණ කාලීනව කටයුතු කිරීමට අවස්ථාව හිමි නොවුණු බව ය. නමුත් මේ වනවිට කුමාර් සංගක්කාර පළමු පෙළ තරගවලින් විශ්‍රාම ගෙන ඇති බැවින් පෙරට වඩා විස්තර විචාරක කුටියේ රැඳීමට ඉඩ හිමි වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරට ත් සඳහන් ය.