ජනපති ලන්ඩන් නුවරට ළඟා වෙයි

ජනපති ලන්ඩන් නුවරට ළඟා වෙයි

by Chathuranga Rajapaksha 16-04-2018 | 6:58 AM
COLOMBO (Newsfirst) - පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙත ළඟා වී තිබේ. 'පොදු අනාගතයක් වෙත' යන්න තේමාව යටතේ එම සමුළුව අද ආරම්භ වේ. සෞභාග්‍ය, සුරක්ෂිත බව, සාධාරණත්වය සහ තිරසරබව යන අංශ යටතේ පොදුරාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු වනු ඇති. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මොල්ටා රාජ්‍යයේ වන අතර දැනට එහි සභාපති ධුරය දරණ මොල්ටාව මෙවර සැසියේදී එය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිත ය. සමුඵවට සහභාගීවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන 21 වනදා දක්වා එක්සත් රාජධානීයේ නිල සංචාරයක නිරත වේ. එහිදී ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තේරේසා මේ මහත්මිය සහ සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාර සංසදය ඇමතීමට ද නියමිත අතර තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂත් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප්‍ර‍ධාන දේශනය පැවැත්වීම සඳහා ද ජනාධිපතිතුමාට ඇරයුම් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බ්‍රිතානය මහ රැජිණගේ 92 වන ජන්ම දින සැමරුම් උත්සවයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවන බව සඳහන් ය.