උඩුනුවරදී තිදරු මවක් ඝාතනය කෙරේ

උඩුනුවරදී තිදරු මවක් ඝාතනය කෙරේ

by Chathuranga Rajapaksha 16-04-2018 | 8:35 AM
COLOMBO (Newsfirst) - මහනුවර, උඩුනුවර, පමුණුව, ඔළිදගොඩවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් තිදරු මවක් ජීවිතක්ෂයට පත්විය. ඊයේ සවස මෙම ඝාතනය සිදුව තිබේ. සිය ඥාති නිවසකට අලුත් අවුරුදු කැවිලි පෙවිලි රැගෙන තවත් ඥාතී කාන්තාවන් දෙදෙනෙකු සමග ගොස් නැවත එමින් සිටියදී මෙම පහරදීම සිදු කර තිබේ. මිය ගිය කාන්තාවගේ සැමියාගේ සහෝදරයා විසින් පොරවකින් හිසට එල්ල කළ පහරකින් අදාළ කාන්තාව බරපතල තුවාල ලබා පමුණුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරුව තත්ත්වය බරපතල බැවින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර යවන අතරතුර මෙම කාන්තාව මියගොස් තිබේ. සිද්ධියෙන් මිය ගියේ 53 හැවිරිදි තිදරු මවකි. ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බවට පොලීසිය සැක පල කරයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මිය ගිය කාන්තාවගේ සැමියාගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. https://www.facebook.com/NewsfirstSL/videos/1914135841979998/