21 වැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සමාප්ත වෙයි

ශ්‍රී ලංකාව ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ අවස්ථාව සනිටුහන් කරමින් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සමාප්ත වෙයි

by Chathuranga Rajapaksha 15-04-2018 | 9:00 PM
COLOMBO (Newsfirst) - සත්කාරක ඔස්ට්‍රේලියාවට වැඩි ගෞරව හිමි කර දෙමින් 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල අද අවසන් විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ ගෝල්කෝස්ට් නුවරදී ය. දින 11ක් ක්‍රීඩා 19 ක ඉසව් 275 ක් සඳහා මෙවර රටවල් 71 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියහ. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකු මෙවර ක්‍රීඩා උළෙලට සහභාගී වූහ. ශූරයින් බවට පත් වූ සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම රන් පදක්කම් 80 ක් රිදී පදක්කම් 59 ක් සහ ලෝකඩ පදක්කම් 59 ක් ඇතුළුව මුළු පදක්කම් 198 ක් ජය ගත්තේය. එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමිවු‍ණේ, පිළිවෙලින් රන් පදක්කම් 45 හා 26 ක් දිනාගත් එංගලන්තයට සහ ඉන්දියාවටයි. ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනා ගනිමින් 31 වැනි ස්ථානයට පත්විය. 1950 වසරේදී ශ්‍රී ලංකාව පදක්කම් 3 ක් දිනා ගත් අතර මෙවර ශ්‍රී ලංකාව දිනූ පදක්කම් 6 මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක් වන්නේ පොදුරාජ්‍ය මණ්ඩල උළෙලකදී ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස ය. ශ්‍රී ලංකාව බර ඉසිලීම ඉසව්වෙන් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් ද බොක්සිං ඉසව්වෙන් ලෝකඩ පදක්කම් තුනක් ද දිනා ගත්තේය. මෙවර ශ්‍රී ලංකාව දිනූ ඉහළම පදක්කම බර ඉසිලීම ඉසව්වෙන් ඉන්දික දිසානායක හිමිකරගත් රිදී පදක්කමයි. චතුරංග ලක්මාල් සහ දිනූෂා ගෝමස් බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේය. බොක්සිං ඉසව්වකින් ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩල පදක්කමක් දිනා දුන් පළමු ක්‍රීඩිකාව ලෙස අනූෂා කොඩිතුවක්කු වාර්තා අතරට එක් විය. බොක්සිං ක්‍රීඩකයින් වන තිවංක රණසිංහ සහ ඉශාන් බණ්ඩාර ද ලෝකඩ පදක්කම් ද හිමිකර ගත්තේය. මේ අතර අද උදෑසන ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරග ඉසව්ව වූ කාන්තා මැරතන් තරගය පැවැති අතර හිරුණි විජේරත්න ඊට සහභාගී වූවාය. පැය 2 යි මිනිත්තු 49 යි තත්පර 38 ක කාලයකින් තරග නිම කළ හිරුණි හිමි කරගත්තේ 11 වැනි ස්ථානයයි. මේ අතර ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික්ගේ බිරිඳ වන ස්කොෂ් ක්‍රීඩිකා දීපිකා පල්ලිකාල් කාර්තික් සහ සව්රෝ ගෝෂාල් ස්කොෂ් මිශ්‍ර යුගල ඉසව්වේ රීදී පදක්කම දිනා ගත්තා ය. ස්කොෂ් කාන්තා යුගල ඉසවේ අවසන් තරගයට දීපිකා පල්ලිකාල් කාර්තික් සහ ජොෂ්නා චින්නප්පා අද සහභාගි වූ අතර ඔවුන් එහිදී ද රිදී පදක්කම දිනා ගැනිමට සමත් වූවාය. 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සාර්ථකව සංවිධානය කිරිමට ඔස්ට්‍රේලියාවට හැකි වූ අතර රාත්‍රීයේ විචිත්‍රවත් සමාප්ති උත්වයක් ද ආරම්භ පැවැත්විය. මේ අතර 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල 2022 වසරේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ය.