රක්ෂිත කලාපවල අහස උසට නගින කසළ කඳු

රක්ෂිත කලාපවල අහස උසට නගින කසළ කඳු

by Chathuranga Rajapaksha 15-04-2018 | 7:55 PM
COLOMBO (Newsfirst) - මීට වසකට පෙර මීතොටමුල්ල කණු කන්දට යට වී මිය ගිය මීතොටමුල්ල ජනතාවට පුණ්‍යානුමෝදනා කරමින් වර්ෂ පූර්ණ දානමය පිංකමක් අද පැවැත්විය. මීතොටමුල්ල ජන ජීවිත අවුල් කළ කුණු කන්දට එරෙහිව මීතොටමුල්ල ජනතාව වීදි බැස්සේ වරක් දෙවරක් නොව. නමුත්, කිසිවක් නොඇසුණු බලධාරින්ගේ අවධානය මීට යොමු වූයේ පසුගිය වසරේ අප්‍රේල් මස 14 වැනිදා ජීවිත 32ක් කුණු කන්ද බිලි ගැනීමෙන් පසුවයි. කුණු කන්දට බිලි වූ 32 දෙදෙනාට පුණ්‍යාණුමෝදනා කිරිමේ අරමුණින් එම දානමය පිංකම සංවිධානය කර තිබුණි. මීතොටමුල්ල කසළ කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා මහතා "මේ අවුරුද්ද පුරාවටම අපිට කොච්චර නම් පොරොන්දු වුණාද? කෝ එකක්වත් ඒවා වුණා ද? ඉදිරියටත් වෙයි ද? මට තියෙන සැකේ ඒක" නමුත් කුණු කන්ද නාය යාමෙන් පසු දේශපාලනඥයින් එදා කිව්වේ මෙවැනි කතාවකි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා / 2017-04-19 "මේ කුණු කන්ද මෙතන අපි මෙහෙම තියන්න යන්නේ නැහැ.මෙතනින් ඉවත් කරන්න ඕනේ" මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක / 2017-08-10 "ඒක අපි ඊළඟ අවුරුදු දෙකේදී නාගරික උද්‍යානයක් බවට පරිවර්තනය කරන බවත් මේ වෙලාවේ කියන්න ඕනේ. අරුවක්කාරුවේ ඒ හිරිගල් කඩපු බිම් වල අපිට අවුරුදු 80 කට මේ ප්‍රශ්නේ විසදගන්න පුළුවන්කම තියෙනවා" ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා / 2017-07-10 "වගකීම රජය විදිහට අපි බැහැර කරන්නේ නැහැ. භාරගන්නවා. කවුරු පටන් ගත්තත්, ඒවා නිවැරදි කිරීමේ වගකීම අපි භාරගන්නවා" ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා / 2017- 04-16 "දකුණු ආසියාවේම විද්‍යාත්මක කසළ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයකට දැන් තියෙන්නේ දොම්පේ. ඒ අනූව එවැනිම තවත් පහක් ලංකාවේ ස්ථාන පහක දැන් හැදෙමින් තිබෙනවා" මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක / 2017-04-28 "මධ්‍යගත කසළ කළමනාකරණ අධිකාරියක් සෑම ආකාරයකම නීති ක්‍රියාත්මක කළ හැකි බලගතු ආයතනයක් රටට අවශ්‍ය වෙලා තියෙනවා මේ කසළ කළමනාකරණය කරගෙන යාමේ" ජීවිත 32ක් බිලි ගත් පසුත් මීතොටමුල්ල කුණු කන්දට කුණු එන එක නතර වුණේ නැහැ. ඒ වගේම අද වනවිට රටේ රක්ෂිත රැසක ක්‍රමයෙන් තව ත් කුණු කඳු නිර්මාණය වෙමින් පවතින අතර මීතොටමුල්ලට නොදැවැනි කුණු කඳුත් නැතුවාම නොවේ. මීතොටමුල්ලට පමණක් දෙවැනි වන මහනුවර, ගොහාගොඩ කුණු කන්ද තවත් මීතොටමුල්ල වැනි ඛේදවාචකයකට අත වනන්නක් බව මේ වනවිට මහාචාර්යවරුන් පවා ඉඟි පල කර අවසන් ය. නමුත්, අදටත් මහනුවර මහා නගර සභාව ඊට කසළ බැහැර කිරීම නම් නතර කර නොමැත. වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින බුද්ධංගල අභය භූමියට ද මේ වනවිට කසළ බැහැර කිරීම සිදුවන අයුරු ද දැකගත හැකියි. මෙය මිනිස් ජීවිත වලට පමණක් නොව වන අලින්ගේ ජීවිත වලට ද තර්ජනයක් වී ඇති බව අපට එහිදී දැකගත හැකි විය. දීඝවාපිය රක්ෂිත කලාපයට අයත් පල්ලකාඩුව ප්‍රදේශයේ කසළ කන්දක් ක්‍රමයෙන් අහස උසට නැගී තිබේ. මෙය ත් රක්ෂිතයේ සිටින වන සතුන්ට ජීවිත තර්ජන එල්ල කර අවසන් ය. හබරණ රක්ෂිතයේ දිගම්පතහා ප්‍රදේශයට ද මේ වනවිට දඹුල්ල ප්‍රාදේශීය සභාව හා දඹුල්ල නගර සභාව අක්‍රමවත් අයුරින් කසළ බැහැර කරමින් සිටී. ගිරිතලේ, මින්නේරිය ස්වභාවික රක්ෂිතය ද මේ වනවිට කුණු කසළ නිසා විනාශ වෙමින් පවතී. ඒ, ඇලහැර ප්‍රාදේශීය සභාවේ කසළ, ස්වභාවික රක්ෂිතයට බැහැර කිරීම හේතුවෙනි. හලාවත නගර සභාවේ අක්‍රමවත් කසළ බැහැර කිරීම නිසා හලාවත කලපුව ද මේ වනවිට විනාශ වෙමින් පවතී. හලාවත එක්වන සියලු කසළ කලපු රක්ෂිතයට බැහැර කිරිම නිසා ඒ ආශ්‍රිතව මේ වනවිට කසළ කන්දක් නිර්මාණය වෙමින් තිබෙන බව දැකගත හැකියි. https://www.facebook.com/NewsfirstSL/videos/1913476712045911/