ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත් වන්නැයි උපදෙස්

ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත් වන්නැයි උපදෙස්

by Chathuranga Rajapaksha 15-04-2018 | 5:50 PM
COLOMBO (Newsfirst) - වැසි සමඟ දිවයිනේ නිරිත දිග මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බැවින්, නාවික හා ධිවර ප්‍ර‍ජාව ඒ සම්බන්දයෙන්, විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 18 වැනිදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා පැවසුවේ අධික වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ය. අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. එය මිලි මීටර් 84 කි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතනය මිලි මිටර් 77. 4 කි. පැවති අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 05 ක් ද අද පෙරවරුවේ විවෘත කළේය. ඉන් මේ වනවිට තත්පරයට ඝණ අඩි 6,000ක පමණ ශිඝ්‍රතාවයකින් වලවේ ගඟට ජය නිකුත් කරමින් සිටින බව කාර්ය භාර ඉන්ජිනේරු සුජීව ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ, ඒ හේතුවෙන් වලවේ ගඟ භාවිතයේදී සැළකිලිමත් විය යුතු බව ය. කාර්යභාර ඉංජිනේරුවරයා රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ උඩවලව ජලාශයේ වේල්ල මතට බර වාහන ඇතුළු කිරීමෙන් වළකින ලෙස හා ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ය. මේ අතර, කලාඔය පීටාර ගැලීමෙන් පුත්තලම - මන්නාරම ප්‍රධාන මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ හේතුවෙන් කොළඹ - මන්නාරම, පුත්තලම - මන්නාරම, කල්පිටිය - මන්නාරම ඇතුළු මගී ප්‍රවාහන බස් රථ පුත්තලම - අනුරාධපුර මාර්ගය හෝ පුත්තලම - නොච්චියාගම, ඔයාමඩුව, තන්තිරිමලේ හරහා මන්නාරම මාර්ගය භාවිත කළ යුතු බව ය.