ජනපති එක්සත් රාජධානියේ නිල සංචාරයක

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සියල්ල සූදානම්: ජනපති ලන්ඩන් නුවරට

by Hashini De Mel 15-04-2018 | 6:29 AM

COLOMBO (News 1st) - එක්සත් රාජධානීයේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිවයිනෙන් පිටත්ව ගියේය.

හෙටින් ඇරඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලබන 20 වනදා දක්වා එක්සත් රාජධානීයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිත ය. මෙවර එහි තේමාව 'පොදු අනාගතයක් වෙත' යන්නයි. සෞභාග්‍ය, සුරක්ෂිත බව, සාධාරණත්වය සහ තිරසර බව යන අංශ යටතේ පොදුරාජ්‍ය මණ්ඩල රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු වනු ඇති. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පවත්වන ලද්දේ මොල්ටා රාජ්‍යයේ වන අතර දැනට එහි සභාපති ධුරය දරන මොල්ටාව මෙවර සැසියේදී එය එක්සත් රාජධානිය වෙත පැවරීමට නියමිත ය. මෙම සමුඵවට සහභාගීවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අප්‍රේල් 21 වනදා දක්වා එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත වේ. එහිදී ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තේරේසා මේ මහත්මිය සහ සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් රැසක් හමුවීමට නියමිත ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන ව්‍යාපාර සංසඳය ඇමතීමට ද නියමිත අතර තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂත් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන සමුළුවේ ප්‍ර‍ධාන දේශනය පැවැත්වීම සඳහා ද ජනාධිපතිතුමාට ඇරයුම් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයට මෙන්ම බ්‍රිතානය මහ රැජිණගේ 92 වන ජන්ම දින සැමරුම් උත්සවයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවන බව සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/1913416972051885/