අමෙරිකාවෙන් සිරියාවට රතු එළියක්

අමෙරිකාවෙන් සිරියාවට රතු එළියක්

by Hashini De Mel 15-04-2018 | 7:48 AM

COLOMBO (News 1st) - සිවිල් වැසියන් ඉලක්ක කර තවදුරටත් රසායනික ප්‍රහාර එල්ල කළහොත් සිරියාවට යළි පහරදෙන බවට අමෙරිකාව අනතුරු අඟවා ඇත.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිත නික්කි හේලි මේ බව සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ කැඳවා තිබූ එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමට එක්වෙමිනි. සිරියාව, සිවිල් වැසියන් ඉලක්ක කර යළි එවැනි ප්‍රහාර එල්ල කළහොත් අමෙරිකාව දැඩි තීරණවලට එළඹෙන බව ද ඇය ප්‍රකාශ කළා ය. මේ අතර සිරියාවට එරෙහිව සාර්ථක මෙහෙයුමක් දියත් කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යට ස්තූතිය පළ කර තිබුණේ ඔවුන් සතු හමුදා බලය ද ඇගයීමට ලක් කරමිනි. එක් රැයක් තුළ මෙවැනි සාර්ථක මෙහෙයුමක් දියත් කළ හැකි වූයේ, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සහයෙන් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත. අමෙරිකාව ප්‍රමුඛ මිත්‍රපාර්ශවික රටවල් සිරියාවට එල්ල කළ මෙම ගුවන් ප්‍රහාරය දැඩිව හෙළා දකින බව, රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ ය. එය ඉතාම බරපතළ තත්ත්වයක් බව පුටින් ප්‍රකාශ කර තිබුණේ, සිරියාවට සිය කණගාටුව ද පළ කරමිනි. ජනාධිපති බසාර් අල් අසාද්ට එරෙහිව 2011 වසරේ මාර්තු 11 වැනිදා ඇරඹි විරෝධතා මාලාවත් සමග සිරියාව තුළ අරාජික තත්ත්වයක් ඇති විය. එතැන් සිට ගෙවුණු වසර 7 ක කාලය තුළ මියගොස් ඇති පිරිස 400,000 ඉක්මවනු ඇති.