සිරියාවේ රසායනික අවි පරිශ්‍රවලට ප්‍රහාර එල්ල කරන්න

සිරියාවේ රසායනික අවි පරිශ්‍ර වෙත ප්‍රහාර එල්ල කිරීමට අමරිකානු ජනපතිගේ අනුමැතිය

by Chathuranga Rajapaksha 14-04-2018 | 7:53 AM
බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සහයෙන් සිරියාවේ රසායනික අවි පරිශ්‍ර වෙත ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දුන් බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය. සිරියාව සම්බන්ධයෙන් අමෙරිකාව ගෙන යන මෙහෙයුම් වලට සහය ලබා දීමට පසුගියදා අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය ද තීරණය කළේය. මේ අතර සිරියානු රජය, ඩූමා නගරයේ සිවිල් වැසියන් ඉලක්ක කර රසායනික ප්‍රහාර එල්ල කළ බවට වන සාක්ෂි තමා සතුව පවතින බව, ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සදහන් කළේ, මීට දින කිහිපයකට ඉහතදී ය. එම තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට සූදානම් බව ද ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කළේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිරියාවේ රසායනික අවි පරිශ්‍ර වෙත ප්‍රහාර එල්ල කිරීමට අනුමැතිය දුන්නේ මෙවැනි පසුබිමක් තුළයි. කෙසේ වෙතත් ලොව පුරා සීතල යුද්ධයක් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවට එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටියරෙස් ද අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.