ජනාධිපතිතුමාගේ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය!

අලුත් දැක්මක්, අලුත් කියැවීමක් සහිත අලුත් මිනිසෙකු සමාජයට පිළිගැන්වීම අලුත් අවුරුද්දයි - ජනපති

by Chathuranga Rajapaksha 14-04-2018 | 7:12 AM
COLOMBO (Newsfirst) - යුගයෙන් යුගය, මානව ශිෂ්ඨාචාරය පරිණාමය වූයේ සංස්කෘතික මිනිසා ද පරිපූර්ණත්වයට පත් කරමින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා පැවසුවේ ලොව විවිධ ජාතීන් සමරනු ලබන ඔවුන්ගේ ජාතිකත්වයට අනන්‍ය වූ සංස්කෘතික උළෙල තුළින් පැවසෙන්නේ, ඔවුන් තම චිරාගත උරුමයන්ට දක්වන ලබැඳියාව සහ අපරිමිත වූ කැපවීම බව ය. සිංහල - දෙමළ අලුත් අවුරුද්ද තුළින් ද සම්ප්‍රේෂණය වනුයේ පෙරදිග වාසීන් වන අප සතු උදාරත්වයේ විශිෂ්ඨ පිළිබිඹුව බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව පැවසුවේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි. අලුත් අවුරුද්ද යනු සැබැවින්ම අලුත් දැක්මක්, අලුත් කියැවීමක්, සහිත අලුත් මිනිසෙකු සමාජයට පිළිගැන්වීම බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, නොනගතය නම් සංක්‍රාන්තිමය විරාමය තුළ ස්වයං හැදෑරීමකට අනුගතව අවුරුදු චාරිත්‍ර සමග ගෙනුදෙනු කරන මේ අලුත් මිනිසා අලුත් අවුරුදු උදාවත් සමග සමාජයට ප්‍රවේශ වන්නේ සාමකාමි සහජිවනය සහ සමාජ සංහිඳියාව කැටුව නෑගම් යන සමීප ඥාතියෙකු ලෙසින් බව ය. අනෝන්‍ය බැඳීම සහ සමාජීය සබඳතා එරබඳු කැකුළු සේ විකසිත කරනු ලබන චිරාගත සිරිත් විරිත් සමග බැඳුණු අලුත් අවුරුද්ද මිනිස් සිතුවිලි පරාසය පරමාදර්ශී සුවඳින් දෝවනය කරමින් අනාගතයට ගලා යන්නේ අපේ ගැඹුරු අවබෝධය සහ අප අලුත් අවුරුද්දට දක්වන ගෞරවනීය පිළිගැනීම ඔස්සේ බව ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිතුමා නිකුත් කල සුබ පැතුම් පණිවුඩයේ වැඩි දුරට ත් සඳහන් වේ. සොබා දහම සහ මනුෂ්‍යයා අතර පවතින අනෝන්‍ය සබැඳියාව අර්ථවත් කරමින් හිරු ප්‍රමුඛ සොබා දහමට කෘතවේදීත්වය පුදකරන ජාතික සමගිය සහෝදරත්වය ඔප් නංවන සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම් අධිෂ්ඨාණයන් සමග ජීවිතය අලුත් කරගන්නට ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ය. වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙකලා අප රටේ සැමදෙනා එක්ව සමරනු ලබන ප්‍රමුඛතම ජාතික උත්සවය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි. ජාතිය, ආගම, තරාතිරම, කුමක් වුව ද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින් අගයමින් සියල්ලන් සතුටින් සාමයෙන් දිවි ගෙවීමට මෙම අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගනිමු බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් සඳහන් වේ.