by Chathuranga Rajapaksha 14-04-2018 | 6:39 AM
COLOMBO (Newsfirst) - සිංහල - දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මුළු රටම මේ වනවිට සූදානමින් සිටී.
පුණ්‍ය කාලය අද අලුයම 1.49 ට උදා වූ අතර එය අවසන් වන්නේ පස්වරු 2.37 ටයි.
මේ වනවිට ගතවන පුණ්‍ය කාලයේ සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත් බව කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා පවසයි.
පුණ්‍ය කාලය උදාවීමත් සමග දිවයින පුරා වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරි ගොස් තිබේ.
අප වාර්තාකරුවන් පැවසුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව, අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය, කැලණිය විහාරය මෙන්ම කතරගම කිරිවෙහෙර භූමිය ද මේ වනවිට බැතිමතුන්ගෙන් පිරී ගොස් ඇති බව ය.
මේ අතර නව අවුරුදු උදාව යෙදී ඇත්තේ අද උදෑසන 8.13 ටයි.
නව වසරේ ආහාර පිසීමේ නැකත අද පෙරවරු 10.40 ට යෙදී තිබේ.
ජෝතිෂ්‍යයේ දැක්වෙන්නේ නිල්පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කර ගැනීම මැනවි බව ය.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභව නැකත අද පෙරවරු 11.53 ට යෙදී ඇති අතර නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි බව ජෝතිෂ්‍යයේ සඳහන් ය.
නව වසරේ හිසතෙල් ගෑමේ නැකත ලබන 16 වන සදුදා පෙරවරු 10.16 ට යෙදී තිබේ.
ජෝතිෂ්‍යයේ දැක්වෙන්නේ උතුරු දිශාව බලා හිසට දිවුල්පත් ද, පයට ඉඹුල්පත් ද තබා සුදුපැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දිවුල් මිශ්‍ර නානු ද ගා ස්නානය මැනවි බව ය.
නව වසරේ රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ ලබන 19 වන බ්‍රහස්පතින්දා උදෑසන 6.03 ටයි.
කහ සහ රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කොට නැගෙනහිර දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම මැනවි බව ජෝතිෂ්‍යයෙහි දැක්වේ.