සිංහල-දෙමළ අලුත් අවුරුදු උදාව තවත් පැය කිහිපයකින්

සිංහල - දෙමළ අලුත් අවුරුදු උදාව තවත් පැය කිහිපයකින්

by Staff writer 13-04-2018 | 6:42 AM
COLOMBO (Newsfirst) - සිංහල - දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක ම ජනතාව මේ වන විට සූදානම් වෙමින් සිටියි. චිරාගත සම්ප්‍රදායනුකූලව අද දිනය හඳුන්වන්නේ පරණ අවුරුද්ද හෙවත් පුරාණ කෝණම් දිනය ලෙස ය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සමරනු වස් පැවැත්වෙන සිංහල - දෙමළ අලුත් අවුරුද්ද හෙට උදා වේ. ඒ අනුව පුණ්‍ය කාලය හෙට අලුයම 1.49 ට ආරම්භ වී පස්වරු 2.37 න් අවසන් වීමට නියමිත ය. ඒ අනුව හෙට අලුයම 1.49 ට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත් බව ජෝතිෂ්‍යයේ සඳහන් ය. නව අවුරුදු උදාව යෙදී ඇත්තේ හෙට උදෑසන 8.13 ට යි. අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත හෙට පෙරවරු 10.40 ට යෙදී තිබේ. ජෝතිෂ්‍යයේ දැක්වෙන්නේ නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි බව ය. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභව නැකත හෙට පෙරවරු 11.53 ට යෙදී ඇති අතර නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි බව ජෝතිෂ්‍යයේ සඳහන් ය. නව වසරේ හිසතෙල් ගෑමේ නැකත ලබන 16 වන සඳුදා පෙරවරු 10.16 ට යෙදී තිබේ. ජෝතිෂ්‍යයේ දැක්වෙන්නේ උතුරු දිශාව බලා හිසට දිවුල්පත් ද, පයට ඉඹුල්පත් ද තබා සුදුපැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දිවුල් මිශ්‍ර නානු ද ගා ස්නානය මැනවි බව යි. අලුත් අවුරුද්දේ රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ ලබන 19 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 6.03 ට ය. කහ සහ රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කොට නැගෙනහිර දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම මැනවි බව ජෝතිෂ්‍යයෙහි දැක්වේ. https://www.youtube.com/watch?v=Hn2JUKWncZM