ඔස්ට්‍රේලියාවේදී ලක් මව ඉහළට ඔසවා තැබූ සිංහ පැටව්

ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලක ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනා ගනී

by Chathuranga Rajapaksha 13-04-2018 | 7:42 PM
COLOMBO (Newsfirst) - ඔස්ට්‍රේලියාවේ, ගෝල්කොස්හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව අද තව ත් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේය. මේ වනවිට ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් සමග ලෝකඩ පදක්කම් 5 ක් දිනාගෙන සිටී. එය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියකදී ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව වීමද විශේෂත්වයකි. 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය වූ අද බොක්සිං ක්‍රීඩාවේ කිලෝග්‍රෑම් 46 - 49 බර පන්තියෙන් ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ එංගලන්තයේ ගලාලා යෙෆා සමඟ අවසන් පූර්ව තරගයට සහභාගි විය. ගලාලා යෙෆා මෙම බර පංතියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ සිටින ක්‍රීඩකයා වේ. යෙෆා මෙහිදී අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහට හිමිවිය. වට 5 කින් සමන්විත තරගයේ මුල් වට 4 ම 16 - 20 ක් ලෙස සටහන් වී තිබුණි. අවසන් වටයේ ලකුණු සටහන දැක්වුවේ 18 ට 20 ක් ලෙසය. තරගයෙන් පසු නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වූ බොක්සිං ක්‍රීඩක තිවංක රණසිංහ "ලංකාවට කොමන්වෙල්ත් ගේම්ස් වලින් බ්‍රොවුන්ස් මෙඩල් එකක් දිනා ගැනීමට හැකි වීම පිළිබඳව ඇත්තටම මම සතුටු වනවා. ඒකට හුඟක් කට්ටිය මට උදවු කළා. වචනෙකින් හරි උදවු කළ ලංකාවේ හැමෝටම මේ මොහොතේදී දද ස්තූතිවන්ත වනවා" අද දිනයේ දෙවැනි පදක්කම දිනා දුන්නේ කිලෝ ග්‍රෑම් 52 බර පංතියෙන් තරග කළ බොක්සිං ක්‍රීඩක ඉශාන් බණ්ඩාරයි. ඉන්දීය ක්‍රීඩක ගෞරව් සොලන්කි සමඟ පැවැති අවසන් පූර්ව තරගය තියුණු මුහුණුවරක් ගත්තේය. අවස්ථා දෙකකදීම ඉන්දීය ක්‍රීඩකයා ඇද වැටෙන අයුරුද දැකගත හැකි විය. මුල් වට දෙකම ලකුණු 29 ට 28 ක් ලෙස ඉන්දීය ක්‍රීඩකයා ඉදිරියෙන් සිටියේය. තුන්වන වටය ලකුණු 28 බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවූ අතර 4 වන වටය අවසන් වූයේ 28 ට 27 ක් ලෙස ඉන්දීය ක්‍රීඩකයා ඉදිරියෙන් සිටිමිනි. අවසන් වටය ලකුණු 29 ට 28 ක් ලෙස අවසන් වූයේ ඉන්දියාවේ ගෞරව් සොලන්කි අවසන් වටයට සුදුසුකම් ලබමිනි. මේ අනුව ඉෂාන් බණ්ඩාරට ලෝකඩ පදක්කම හිමිවිය. ශ්‍රී ලංකාවට මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා තරගාවලියේ බොක්සිං ඉසව්වෙන් හිමිවූ තුන්වන පදක්කම මෙයයි. තරගයෙන් පසු නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වූ බොක්සිං ක්‍රීඩක ඉශාන් බණ්ඩාර "ඇත්තටම අද තරගය මම පරාජය වුණා. ඒක ගැන මට දුකයි. ඒත් මට ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට පුළුවන් වුණ එක ගැන මට සතුටුයි. ඇත්තටම මේ තරගයට සහභාගී වීමට හැකි වීම ගැන හුඟක් සතුටු වනවා" 1950 වසරේදී ශ්‍රී ලංකාව පදක්කම් 3ක් දිනා ගත් අතර මෙවර මේ වන විට ශ්‍රී ලංකාව රිදී පදක්කමක්ද ඇතුළුව මුළු පදක්කම් 6ක් දිනා සිටී. ඒ, බර ඉසිලීම ඉසව්වෙන් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් සහ බොක්සි ඉසව්වෙන් ලෝකඩ පදක්කම් තුනක් ලෙසිනි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව මෙතෙක් දිනූ ඉහළම පදක්කම වන්නේ ඉන්දික දිසානායක බර ඉසිලීම ඉසව්වෙන් දිනූ රිදී පදක්කමයි. චතුරංග ලක්මාල් සහ දිනූෂා ගෝමස් බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් විය. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ බර ඉසිලීම කාන්තා ඉසව්වකින් ශ්‍රී ලංකාව පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙය වේ. බොක්සිං ඉසව්වකින් ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩිකාව ලෙස අනූෂා කොඩිතුවක්කු වාර්තා අතරට එක් විය. අද පැවැති තරගවලදී තිවංක රණසිංහ සහ ඉශාන් බණ්ඩාර දිනූ ලෝකඩ පදක්කම් ද සමගින් බොක්සිං ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙකදී මෙරටට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා දුන් අවස්ථාව ලෙස ද වාර්තා අතරට එක් වේ. මේ අතර අද පැවැති තරගවලදී මලල කීඩා හා කිමිඳුම් ඉසව් වලින් ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා දැක්වූහ. සම්පත් රණසිංහ, හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ මූලික තරගයේදී මීටර 74යි දශම 7යි 2ක දක්ෂතාවක් සමග 9 වන ස්ථානයට පත්වෙමිනි. අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත ය. මීටර 100 පිරිමි සහය ධාවන ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාව අද සුදුසුකම් ලබා ගත්තේ මූලික වටයේ තරගය තත්පර 39යි දශම 4යි 7කින් අවසන් කරමිනි. මෙම තරගයේදී ශ්‍රී ලංකාවට තුන්වැනි ස්ථානය හිමිවිය. එහි අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත ය. රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකාවේ ඇනා මේරි ඔන්ඩච්චි 6 වැනි ස්ථානට පත් වූවාය. යශෝධා ද සිල්වා 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 1 ස්ප්‍රිං බෝඩ් කාන්තා කිමිදුම් ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා ය. ඒ, එහි මූලික වටයේ තරගයේදී ලකුණු 117යි දශම 9ක් රැස් කරමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1911223938937855/