රැකියා විරහිත උපාධිධාරීන්ට සම්මුඛ පරීක්ෂණ ලබන 16

රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 16 සිට

by Staff writer 13-04-2018 | 11:52 AM
COLOMBO (Newsfirst) - රජයේ රැකියා අපේක්ෂාවෙන් උපාධිධාරීන් 52000ක් තම අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි. එහි අතිරේක ලේකම් අසංක දයාරත්න මහතා සඳහන් කළේ, ඉන් 20,000ක් මේ වසරේදී රාජ්‍ය සේවයේ රැකියා සඳහා බඳවා ගන්නා බව ය. ඔවුන් වසර දෙකක පුහුණුවකින් පසුව රැකියා සඳහා අනියුක්ත කෙරෙනු ඇති. පුහුණුව කාලය තුළ මසකට රුපියල් 20,000ක දීමනාවක් ද ලබා දෙන බව අතිරේක ලේකම්වරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ලබන 16 වන දා සිට 20 වන දා දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී පැවැත්වෙන බව ය. වසර දෙකක පුහුණුවේදී රාජ්‍ය සේවකයින්ට අදාළ ක්ෂේත්‍ර රැසක නිපුණතාව ලබා දීමට නියමිත බව අසංක දයාරත්න මහතා ප්‍රකාශ කළේ ය. අතිරේක ලේකම්වරයා පැවසුවේ, මෙතෙක් ලියාපදිංචි නොවූ රැකියා විරහිත උපාධිධාරීන්ට ද ලබන 16 වන දා සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය හැකි බව ය.