තිවංක රණසිංහ ලෝකඩ පදක්කම දිනා ගනී

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වෙන් තිවංක රණසිංහ ලෝකඩ පදක්කම දිනා ගනී

by Staff writer 13-04-2018 | 9:23 AM
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං කිලෝග්‍රෑම් 46 - 49 බර පන්තියේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම අද දිනා ගත්තේ ය. ඒ, අද පැවති අවසන් පූර්ව තරගයෙන් අනතුරුව ය. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැති අවසන් පූර්ව තරගයේදී එංගලන්තයේ ගලාලා යෙෆා හමුවේ තිවංක පරාජය විය. කෙසේ නමුත් තරගාවලියේ රීතිවලට අනුව ලෝකඩ පදක්කම සඳහා වෙනම තරගයක් නොපැවැත්වෙන අතර එම පදක්කම හිමි වන්නේ අවසන් පූර්ව වටයේ තරග දෙකෙන් ඉවත් වන ක්‍රීඩකයින්ට ය. ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වෙන් දිනූ දෙවන ලෝකඩ පදක්කම මෙය වේ. මේ වන විට ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් ජයගෙන තිබේ.