වාර අවසාන කිරීම නිසා පාර්ලිමේන්තුවේ ඇති වන තත්ත්වය

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග ඇති වන තත්ත්වය කෙබඳු ද?

by Staff writer 13-04-2018 | 7:08 AM
COLOMBO (Newsfirst) - අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කළේ ය. පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග ඇති වන තත්ත්වය කෙබදු ද? පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පෙන්වා දුන්නේ, මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජනා සහ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු සැසිවාරය නැවතත් ආරම්භ කිරීමෙන් පසු ඉදිරිපත් කළ යුතු බව ය. ඒ අනුව මේ වන විට ඉදිරිපත් කර තිබෙන යෝජනා සහ පනත් කෙටුම්පත් අහෝසි වනු ඇති. එමෙන් ම පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය ගිනුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව ඇතුළු අනෙකුත් සියලු ම කාරක සභා පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග අහෝසි වී යයි. කෙසේ වෙතත් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අහෝසි වීමක් සිදු නොවේ. පාර්ලිමේන්තුවට අලුතින් හඳුන්වා දුන් ආංශික අධීක්ෂණ කාරක සභා 16 ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන බව නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය. නැවතත් පාර්ලිමේන්තුව මැයි මස 08 වන දින රැස්වීමට නියමිත ය.