දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 8 තුළ මහ වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 8 තුළ මහ වැසි

by Chathuranga Rajapaksha 13-04-2018 | 5:42 PM
COLOMBO (Newsfirst) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 8 තුළ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබද පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම අවස්ථාවල පැයට කිලෝමිටර් 70 ත් 80 පමණ තද සුළං ද ඇතිවිය හැකි බව ය. ඇතිවිය හැකි අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව එම අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටිය යුතු වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුඹුරු, තේ වතු , ක්‍රිඩා පිටි, මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී නොසිටිය යුතු බව ය. රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිත කිරීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය. පාපැදි, ට්‍රැ ක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහනවල ගමන් කිරීමෙන් වළකින ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේය. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මේ වනවිට මිලිමිටර් 100 ඉක්ම වූ වැසි ලැබී ඇති බැවින් ජනතාව වඩාත් සැළකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්. උදය කුමාර මහතා පවසයි.