යාපනයේ  ඉඩම් අක්කර 683 ක් අද මුල් හිමිකරුවන්ට

ආරක්ෂක හමුදා යටතේ පැවති යාපනයේ ඉඩම් අක්කර 683 ක් අද මුල් හිමිකරුවන්ට

by Chathuranga Rajapaksha 13-04-2018 | 9:41 PM
COLOMBO (Newsfirst) - යාපනය, වලිකාමම් උතුර ප්‍රදේශයේ ආරක්ෂක හමුදා යටතේ පැවති ඉඩම් අක්කර 683 ක් අද මුල් හිමිකරුවන්ට නැවත ලබා දුන්නේය. 1990 වසරේ සිට මෙම ඉඩම් අයත් වූයේ යාපනය අධි ආරක්ෂක කලාපයටයි. මෙම ඉඩම් වල අයිතිය යුද හමුදාපති ලුතිනල් ජෙනරල් මහේෂ් සේනානයක මහතා විසින් යාපනයේ දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගන් මහතා වෙත අද නිල වශයෙන් භාර දුන්නේ යාපනයේ මයිලිටි ප්‍රදේශයේ පැවති උත්සවයකදී ය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි සිවිල් ජනතාව වෙත ලබා දිය හැකි ඉඩම් පිළිබඳව සිදු කළ සොයා බැලීමකින් අනතුරුව මෙම ඉඩම් ජනතා අයිතියට පැවරීමට තීරණය කර තිබේ. වලිකාමම් උතුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලිටි උතුර, තයිඉට්ටි නැගෙනහිර සහ මියිලිට්ටි යන ප්‍රදේශ ඊට ඇතුළත් ය. 300කට අධික පවුල් ප්‍රමාණයක් එම ඉඩම්වල මුල් හිමිකාරීත්වය දැරූ අතර යාපනයේ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබූ කඳවුරු 12 ක සිටි ජනතාව ද ඒ අතර වේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා එහිදී මෙසේ අදහස් පල කළේය. "මේ වන විට අවුරුදු 28 ක් වැනි කාලයක් මම දන්නවා මේ අපගේ ජනතාව අනාත කඳවුරුවල ඉතාම දුක්කිත ජිවිත ගතකර බව. ඒ තත්ත්වයන් ඇති වූයේ ඔබගේ වරදින් හෝ අපගේ වරදින් නොව 2009 වර්ෂයේදි යුද හමුදාව විසින් පරිභෝජනය කරන ලද පාවිච්චි කරන ලද ඉඩම් වලින් මේ වනවිට අද වනවිට සියටට 80කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඔබලා වෙත භාරදීලා තියෙනවා. අද අප ඔබ වෙත ඉතා සතුටින් භාරදෙන ප්‍රදේශය අක්කර 683ක් පමණ වනවා" මෙතෙක් වසා තිබුණු පේදුරු තුඩුව - මයිලිටි හරහා ඇති පොන්නාලේ මාර්ගය ද යළි විවෘත කිරීම අද සිදු විය. ඒ අනුව හෙට සිට උදෑසන 6ත් රාත්‍රී 7 ත් අතර කාලය තුළ ජනතාවට එම මාර්ගය භාවිත කළ හැකිය. 2015 වසරේ සිට මේ දක්වා සිවිල් ජනතාව වෙනුවෙන් මුදා හැරුණු යාපනය දිස්ත්‍රිකයේ ඉඩම් ප්‍රමාණය අක්කර 21,000 කට අධික ය. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 24,000ක්ද මුලතිව් දිස්ත්‍රික්කයේ අක්කර 7000 ක්ද මෙම කාලය තුළ සිවිල් ජනතාවට මුදාහැර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1911271842266398/