ලක් මවට අභිමානයක් ගෙනා දූ පුතුන් හරසරින් පිළිගැනේ

ලක් මවට අභිමානයක් ගෙනා දූ පුතුන් හරසරින් පිළිගැනේ

by Hashini De Mel 11-04-2018 | 7:59 PM

COLOMBO (News 1st) - වසර 68 කට පසුව බොක්සිං තරග ඉසව්වකින් ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් හිමිකරදීමට අනුෂා කොඩිතුවක්කු අද සමත් විය.

මීට පෙර 1950 වසරේදී කේ. එඩ්වින් සහ ඇල්බර්ට් පෙරේරා බොක්සිං තරග ඉසව්වෙන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කර ඇත. ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හි පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45- 48 බර පන්තියේ කාන්තා බොක්සිං තරග ඉසව්වේ අවසන් පූර්ව වටය අද උදෑසන පැවැත් විය. ඒ, ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සහ ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් අතර ය. වට 3ට 0ක් ලෙස මේරි කොම් තරගය ජය ගත් නමුත් වට 3 දීම ලකුණු 30 ට 27 ක් ලෙස ලබා ගනිමින් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට අනුෂා කොඩිතුවක්කු සමත් විණි. ඒ අනුව අනූෂා කොඩිතුවක්කුට මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි විය. අනූෂා වාර්තා අතරට එක්වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ බොක්සිං තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දුන් පළමු ක්‍රීඩිකාව ලෙසයි. මීට පෙර බොක්සිං තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් පදක්කම් දිනා තිබේ. ඒ, 1938 වසරේදී බාර්නි හෙන්රිකස් දිනා ගත් රන් පදක්කම, 1950 වසරේදී කේ. එඩ්වින් දිනාගත් රිදී පදක්කම හා එම වර්ෂයේම ඇල්බට් පෙරේරා දිනාගත් රිදී පදක්කමයි. බොක්සිං ක්‍රීඩක ඉෂාන් බණ්ඩාර කිලෝග්‍රෑම් 52 ක බර පන්තියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ලෙසතෝ රාජ්‍යයේ තාබො මොලොෆො සමග අද තරග වැදුණි. තරගය ජය ගත් ඉෂාන් බණ්ඩාර අවසන් පූර්ව තරගය පරාජය වුව ද මේ වන විටද ලෝකඩ පදක්කමක් සඳහා සිය ස්ථානය තහවුරු කරගෙන අවසන් ය. කිලෝග්‍රෑම් 51 ක බොක්සිං කාන්තා ඉසව්වේ අද පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාවේ දුලානි ජයසිංහ පරාජය විය. ඒ කෙන්යාවේ ක්‍රිස්ටීන් ඔන්ගාරේ සමග පැවැති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙනි. හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වට සහභාගී වූ දිල්හානි ලේකම්ගේ පස්වැනි ස්ථානයට පත් වූයේ, මීටර 56. 02ක දක්ෂතාවක් දක්වමින් ය. මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායකගෙන් අද ගිලිහි ගියා ය. එහි පළමු මූලික තරගයේදී තත්පර 23.6 ක දක්ෂතාවක් දැක් වූ ඇයට හිමි වූයේ 6 වැනි ස්ථානයයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මේ දක්වා පැවති තරගවලදී ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් හිමිකරගෙන සිටිනු ඇත. පසුගිය 2014 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ඉසව්වකින් ශ්‍රී ලංකාවට එක් ලෝකඩ පදක්කමක් පමණක් හිමි විය. මේ අතර බර ඉසිලීමේ ඉසව්වෙන් මෙවර පදක්කම් දිනූ ක්‍රීඩකයින් අද පෙරවරුවේ යළි මව් බිමට පැමිණියහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පදකක්ම් දිනාගත් ඉන්දික දිසානායක, චතුරංග ලක්මාල් හා දිනුෂා ගෝමස් ඇතුළු බර ඉසිලීමේ කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී උණුසුම් අයුරින් පිළි ගනු ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බර ඉසිලීමේ ඉසව්වෙන් මෙරට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගත්තේ මේ වසරේදී ය. මෙම ඉසව්වෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස දිනූෂා ගෝමස් මෙවර වාර්තා අතරට එක් විය. කටුනායක සිට කොළඹ බලා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමට මග දෙපස ද උත්සව සංවිධානය කර තිබුණි. ඔවුන් පිළිගැනීමේ ප්‍රධාන උත්සවය පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශයේදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/1908674849192764/