by Chathuranga Rajapaksha 10-04-2018 | 8:20 PM
COLOMBO (Newsfirst) - මැදපෙරදිග ගෘහ සේවයේ සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික කාන්තාවන් ගැබ්ගෙන නොමැති බවට විදේශ නියෝජිත ආයතන විසින් ඔවුන්ව ගිවිසුමකට එකඟ කර ගන්නා බවට සන්ඩේ ඔබ්සවර් පුවත් පත පසුගියදා වාර්තා කර තිබුණි.
එහි දැක්වුණේ එම ගිවිසුමට අනුව මාස 3ක කාලයක් සඳහා සේවිකාව ගැබ්ගෙන නොමැති බවට සේවා යෝජකයාට සහතිකයක් ලබාදෙන බව ය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන 6ක් විසින් මෙම සහතිකය ලබාදෙන බව අදාළ පුවත්පත් වාර්තාවේ දැක්වේ.
ඒ වගේම ඔවුන් ඩෙපෝ ප්‍රොවේරා (Depo-Provera) නමැති ඖෂධය ද එම කාන්තාවන් සඳහා භාවිත කරන බව වාර්තා වී ඇතැයි එම පුවත් පත වාර්තා කර තිබුණි.
මේ පිළිබඳව අප විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළේය.
අමාත්‍යවරයා පැවසුවේ තමන් ද මේ පිළිබඳව තොරතුරු දැන ගත්තේ මාධ්‍යයෙන් බව ය.
එබැවින් වහාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවූ බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේය.
මෙය බොහෝ දුරට රැකියා ඒජන්සිකරුවන් විසින් පෞද්ගලික සිදු කරනු ලබන කටයුත්තක් බවට තමාට හැඟී යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එබැවින් විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තම සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නැයි අමාත්‍යවරයා ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
ඒ වගේම විදේශ රැකියා ඒජන්සි ඉදිරියේදී ශ්‍රේණිගත කිරීමකට ලක් කරන බව ත් සේවය නිසි පරිදි ලබා නොදෙන ඒජන්සි අසාඳු ලේඛන ගත කිරීමටත් පියවර ගන්නා බව ත් විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වැඩි දුරට ත් සඳහන් කළේය.
https://www.youtube.com/watch?v=SLujDmgjmwk&feature=youtu.be